30.5 C
Galle

නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි

Published:

2023 වසරේ නායයෑමකින් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ පූනගල, කබරගල පවුල් 50ක් සඳහා ඉදිකළ “නවෝදයපුරම්” නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද භාරදී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සක්‍රීය දායකත්වයෙන් ඉදිකළ මෙම නිවාස ව්‍යාපෘතිය මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

නිවාස භාරදීමේ උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ මලයගම් ජනතාව ශ්‍රී ලංකාවේ සමාන අයිතිවාසිකම් සහ ගෞරවය හිමි පුරවැසියන් බවයි.

පරම්පරා ගණනාවක් පුරා ජනතාව මුහුණ දුන් දුෂ්කරතා අනාගත පරම්පරාවටද උරුම නොකළ යුතු බවත්, රටේ ආර්ථිකයට දායක වන සියලු ජනතාව සඳහා යහපත් ජීවන තත්ත්වයක් සහතික කිරීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට යළි රටට පැමිණීමේදී ඇති බාධා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය මෑතකදී තීරණය කළ බවද ඔහු සිහිපත් කළේය.

ඉදිරි අයවැයේදී නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමඟ ඇතිකරන ගිවිසුම්වලට මලයගම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විධිවිධාන ඇතුළත් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර මධ්‍යම කඳුකරය පරිසරමය වශයෙන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, මධ්‍යම කඳුකරය “රටේ හදවත” ලෙස හැඳින්වීය.

මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියලු රාජ්‍ය ආයතනවල වගකීම් ඒකාබද්ධ කරමින් පුළුල් බලතල සහිත “මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්” පිහිටුවීමට අවශ්‍ය නීති මේ වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

අනාගත පරම්පරාව වෙනුවෙන් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂා කිරීම ජාතික වගකීමක් බැවින් ඒ සඳහා සියලු දෙනා එක්වන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

මලයගම් ජනතාව නගාසිටුවීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය හඳුන්වා දුන් ජනාධිපතිවරයා, එය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු පාර්ශ්වයන්ට ස්තුතිය පළ කළ අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කැපවීම අගය කළේය.

Related articles

spot_img
error: Content is protected !!