29.2 C
Galle

මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි

Published:

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර පුද්ගලයන් 32 දෙනකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් නම්කර සිටින සැකකරුවන් 67 දෙනාගෙන් පළමු හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට ලබන සැප්තැම්බර් 8 වැනිදා ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

අද (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඒ අනුව සැකකරුවන් හඳුනාගැනීම සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මීගමුව ප්‍රධාන ජේලර් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20කට නොතිසි නිකුත් කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර සැකකරුවන් 70 දෙනකු නම්කර තිබූ අතර, ඔවුන්ගෙන් දෙදෙනකු මියගොස් ඇති බවත් තවත් එක් සැකකරුවකුගේ අංකය මුද්‍රණ දෝෂයක් හේතුවෙන් දෙවරක් සඳහන් වී ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව දැනට නිල වශයෙන් සැකකරුවන් 67 දෙනකු නම්කර ඇති බව විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

අද දින සැකකරුවන් අංක 1 සිට 6 දක්වා හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබුණද, සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.

ඒ අනුව සැකකරුවන් සිව්දෙනකු සහ ඔවුන් හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් සිව්දෙනකු දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ නියෝග මත ඔවුන් රෙදිවලින් සම්පූර්ණයෙන් ආවරණය කර පෙරට්ටු කාමරයට රැගෙන ගොස් තිබේ.

මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් සිව්දෙනා විසින් සැකකරුවන් හඳුනාගෙන ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 2,100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකු සහ රැඳවියන් 22 දෙනකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි.

සිද්ධියේදී ගිනි අවි භාවිත කර වෙඩි තැබීම් සිදුකළේ බන්ධනාගාර නිලධාරීන්ද, රැඳවියන්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ ගැටුම අතරතුර රැඳවියන් විසින් අවි ගබඩාව කඩා ගිනි අවි 32ක් තම භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එම ගිනි අවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක ඇතුළු විශේෂඥ කණ්ඩායම් ස්ථානීය පරීක්ෂණ සිදුකර ඇති අතර, අදාළ වාර්තා ලැබුණු පසු වෙඩි තැබීම් සඳහා භාවිත කළ ගිනි අවි කුමන පාර්ශ්වයකට අයත්ද යන්න පිළිබඳව නිගමනයකට එළඹිය හැකි බවද ඔවුහු සඳහන් කළහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ගැටුම අතරතුර රැඳවියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවයි. වෙඩි තැබීම් සම්බන්ධයෙන් සාක්ෂි සහ සැකකරුවන් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවටද ඔහු කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර ගැටුමෙන් මියගිය ඉන්දීය ජාතිකයකුගේ මෘත දේහය හඳුනාගැනීම සඳහා ඥාතීන් නොපැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇති බවද අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන මගින් අනාවරණය විය.

ඒ අනුව එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, පසුව රජයේ වියදමින් මීගමුව පොදු සුසාන භූමියේ භූමදානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වීඩියෝ තාක්ෂණය භාවිත කරන ලෙසද බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට අවධාරණය කළාය.

නඩුව ලබන සැප්තැම්බර් 8 වැනිදා යළි කැඳවීමට නියමිත අතර, එදින සැකකරුවන් අංක 1 සිට 6 දක්වා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!