ශ්‍රී ලංකාවේ මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික වැඩසටහන යටතේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දිනකට මෙතරම් ජීවිත සංඛ්‍යාවක් අහිමි කරන වෙනත් තනි සාධකයක් රට තුළ නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ආශ්‍රිත මරණ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ දුම්කොළ භාවිතය බවත්, මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් මියයන බවට ඇස්තමේන්තු කර ඇති බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
එමෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
නීත්‍යානුකූලව අලෙවි වන දුම්කොළ සහ මත්පැන් වැනි ද්‍රව්‍ය බොහෝ විට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ආරම්භක පියවරක් බවට පත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.
පවතින සාක්ෂි අනුව පසුව හෙරොයින් භාවිතයට යොමුවන බොහෝ පුද්ගලයන් කලින් දුම්කොළ භාවිතයට ඇබ්බැහි වූවන් බවත්, ගංජා භාවිතයට යොමුවන බොහෝ දෙනකු ඊට පෙර මත්පැන් හෝ සිගරට් භාවිත කර ඇති බවත් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් සෘජුව සිදුවන මරණ සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ පර්යේෂණාත්මක දත්ත තවමත් නොමැති බවද ඔහු පැවසීය. එහෙත් පවතින ඇස්තමේන්තු අනුව වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් මියයා හැකි බවට තොරතුරු පවතින බවද ඔහු සඳහන් කළේය.
දුම්කොළ, මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික බලපෑම් විශාල බැවින්, මත්ද්‍රව්‍ය නිවාරණය සහ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආචාර්යවරයා අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම සඳහා පවුල, පාසල, විශ්වවිද්‍යාල සහ සමස්ත සමාජය එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.



