28.8 C
Galle

උපාධි උත්සවයට පැමිණි තරුණිය පැහැරගෙන ගිය පෙම්වතා සොයා පොලිස් මෙහෙයුමක්

Published:

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර සිදුවූ ආන්දෝලනාත්මක තරුණියක පැහැරගැනීමේ සිද්ධියක් ව්‍යර්ථ කිරීමට නාරාහේන්පිට පොලිසිය සමත්ව තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා ගමන් කළ මෝටර් රථයට පොලිසිය විසින් වෙඩි තබා අදාළ තරුණිය ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මොවුන් මාතර, වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචි අය වන අතර මෙම තරුණයාට නොදන්වා තරුණිය සිය පවුලේ සාමාජිකයන් සමඟ කොළඹ පැමිණ ඇත්තේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහාය. කෙසේවෙතත්, අදාළ ස්ථානයට පැමිණි 26 හැවිරිදි තරුණයා විසින් තරුණියව බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. පොලිසිය පවසන්නේ මොවුන් අතර ප්‍රේම සම්බන්දයක් තිබී ඇති බවට කරුණු අනාවරනය වී ඇති බවයි.

තරුණියගේ පියා විසින් මේ පිළිබඳව වහාම පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසිය, පස්වරු 1.30ට පමණ නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ SP CAI – 7562 අංකය දරන අදාළ මෝටර් රථය නතර කිරීමට නාවල මාර්ගයේදී මාර්ග බාධක යොදා අණ කර ඇත. එම අණ නොතකා මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීම නිසා පොලිස් නිලධාරීන් විසින් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, රියදුරු මෝටර් රථය මහමග දමා පලාගොස් තිබේ. රථය පරීක්ෂා කළ පොලිසිය එහි සිටි තරුණිය ආරක්ෂිතව මුදාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇති විශේෂිතම කරුණ වන්නේ, තරුණිය ඇතුළු පවුලේ පිරිස උපාධි ප්‍රදානෝත්සවය සඳහා කොළඹට පැමිණ ඇත්තේද අදාළ සැකකාර තරුණයාට අයත් මෝටර් රථයෙන්ම බවයි. එමෙන්ම පලාගිය තරුණයා මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවද පොලිසිය සඳහන් කර ඇත.

අදාළ මෝටර් රථය දැනට කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!