චීන සමාගමකින් අල්ලස් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝ (Lenín Moreno) මහතාට වසර පහක සිරදඬුවමක් නියම කිරීමට අගනුවර වන කිටෝ (Quito) හි පිහිටි අධිකරණයක් පියවර ගෙන තිබේ.
2017 සිට 2021 දක්වා කාලය තුළ ඉක්වදෝරයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 73 හැවිරිදි මොරෙනෝ මහතා, සිය වයස සහ ආබාධිත තත්ත්වය හේතුවෙන් අදාළ සිරදඬුවම නිවාස අඩස්සියේ සිට ගෙවා දැමීමට නියමිතය. කෙසේවෙතත්, අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර ඇත. අල්ලස් චෝදනාවලට වරදකරු වී සිරදඬුවම් ලැබූ ඉක්වදෝරයේ තුන්වැනි හිටපු නායකයා වන්නේද මොරෙනෝ මහතාය.
ඉක්වදෝරයේ කොකා කොඩෝ සින්ක්ලෙයාර් (Coca Codo Sinclair) ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාගැනීම වෙනුවෙන් චීන රජයට අයත් ‘සිනොහයිඩ්‍රෝ’ (Sinohydro) සමාගම විසින් ව්‍යාපාරික ආයතන හරහා ඩොලර් මිලියන 76.1ක අල්ලස් මුදලක් ලබාදී ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර තිබිණි.
මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු වරදකරුවන් වී ඇති අතර, ඒ අතර මොරෙනෝ මහතාගේ බිරිඳ, දියණිය, සහෝදරයා මෙන්ම හිටපු බලාගාර කළමනාකරුවන්, සිනොහයිඩ්‍රෝ නියෝජිතයන් සහ ඉක්වදෝරයේ හිටපු චීන තානාපතිවරයාද වෙති.
අල්ලස් ක්‍රමවේදය හරහා මොරෙනෝ මහතාට සෘජුවම ලැබී ඇත්තේ කුඩා මුදලක් වුවද, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඩොලර් දහස් ගණනක මුදල් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. වරදකරුවන් වූ පිරිසට තමන් ලබාගත් අල්ලස් මුදල මෙන් තුන්ගුණයක මුදලක් ආපසු ගෙවන ලෙස නියෝග කර ඇති අතර, මොරෙනෝ මහතාට රාජ්‍ය නිලතල දැරීමද තහනම් කර තිබේ.
කෙසේවෙතත්, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන මොරෙනෝ මහතා පවසන්නේ අදාළ ජල විදුලි ව්‍යාපෘතියට අත්සන් තබන ලද්දේ තමන් උපජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිටි හිටපු ජනාධිපති රෆායෙල් කොරෙයා (Rafael Correa) විසින් බවයි. (කොරෙයා මහතාද වෙනත් අල්ලස් නඩුවකට වරදකරු වී 2020 වසරේදී වසර 8ක සිරදඬුවමකට ලක්විය). තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අදාළ ඉදිකිරීම්වල පැවැති දෝෂ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවද මොරෙනෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ ජල විදුලි බලාගාරයේ වේල්ලේ ඇතිවූ පැලුම් සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉක්වදෝර රජය 2021 වසරේදී සිනොහයිඩ්‍රෝ සමාගමට එරෙහිව නීතිමය පියවර ගත් අතර, මෙම වසර මුලදී එම සමාගමේ හිමිකරුවන් සමඟ ඩොලර් මිලියන 400ක වන්දි එකඟතාවයකට පැමිණීමටද කටයුතු කර තිබිණි.



