නේපාලයේ හිමාලයානු කඳුවැටියේ ලංටැං ලිරුං (Langtang Lirung) හිමකන්දෙන් දැවැන්ත හිම සහ පස් කන්දක් කඩා වැටීමත් සමඟ ත්‍රිශූලී ගංගා නිම්නය හරහා හදිසියේම බිහිසුණු ජල රක්ෂසයෙකු මතු විය. ඒ මොහොතේ නුවාකොට් (Nuwakot) හි පිහිටි ත්‍රිභුවන ත්‍රිශූලී ද්විතීයික විද්‍යාලයේ (Tribhuvan Trishuli Secondary School) 1,600කට අධික සිසුන් පිරිසක් වෙනදා මෙන්ම තම පන්ති කාමරවල ඉගෙනුම් කටයුතුවල නිරතව සිටියහ.
47 හැවිරිදි විදුහල්පති රාජේන්ද්‍ර දවාඩි (Rajendra Dawadi) මහතා වෙත එදින උදෑසන 9.20ට පමණ තත්පර කිහිපයක් ඇතුළත හදිසි දුරකථන ඇමතුම් කිහිපයක් ලැබිණි.
“ගඟ ගැලීමෙන් උඩහ ගම සම්පූර්ණයෙන්ම සෝදාගෙන ගියා… වහාම ළමයින් අරන් දුවන්න!” යන්න උඩහ පිහිටි බෙත්‍රාවතී (Betrawati) ප්‍රදේශයේ මිතුරෙකුගෙන් ලැබුණු පළමු පණිවිඩයයි.
මුලදී පාසල ගඟට වඩා මීටර් 60ක් පමණ උසින් පිහිටි නිසා අනතුරක් නොමැති යැයි සිතුවද, තවත් මව්පියන් කිහිපදෙනෙකු කලබලයෙන් පැමිණ වතුර මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බව පවසද්දී දවාඩි මහතා තත්පරයක්වත් අපතේ නොහැරීමට තීරණය කළේය.
“ගංවතුර නාවත් කමක් නෑ, අපිට අහිමි වෙන්නේ එක දවසක පන්ති විතරයි” යැයි සිතූ ඔහු වහාම පාසල් සීනුව නාද කර සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට උස් කඳුකර ප්‍රදේශය දෙසට දිවයන ලෙස නියෝග කළේය.
ළමුන් කන්ද දෙසට දිව යද්දී, මීටර් 100ක් පමණ දුරින් තිබූ පාසල් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ අවුරුදු 76ක් පැරණි තෙමහල් පාසල් ගොඩනැගිල්ල පෙනි පෙනීම මඩ සහ ගංවතුරට හසුවී ගසාගෙන යන අයුරු ඔවුන් දැක තිබේ.
“අපි ඒ තීරණය ගන්න තවත් විනාඩි 10ක් ප්‍රමාද වුණා නම්, අද මමවත් මගේ ළමයිවත් ඔබ එක්ක කතා කරන්න ජීවතුන් අතර ඉතිරි වෙන්නේ නැහැ,” යැයි විදුහල්පතිවරයා බීබීසීයට පවසා තිබුණේ දැඩි සංවේගයෙනි.
විදුහල්පතිවරයාගේ ක්ෂණික තීරණය නිසා සිසුන් 1,643 දෙනෙකුගේ ජීවිත නූලෙන් බේරුණද, පන්ති කාමරවල දොරවල් වැසීමට ගිය සේවකයෙකු සහ නිවාස සංකීර්ණයට ගිය ගුරුවරයෙකු අවාසනාවන්ත ලෙස මෙම ජල පහරට හසුවී මියගොස් තිබිණි. අද මුළු මහත් නේපාලයම රාජේන්ද්‍ර දවාඩි මහතාව හඳුන්වන්නේ දහසකට වැඩි දරුවන්ගේ ජීවිත රැකදුන් අසහාය වීරයෙකු ලෙසය.



