කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් සෙනසුරාදා (29) රාත්‍රියේ කඩා වැටීම හේතුවෙන් අද (31) අධිකරණ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම මහතා නිකුත් කළ හදිසි දැනුම්දීමකට අනුව, පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අද දිනයේ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළුවීමද තහනම් කර ඇත.
අද කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවීමට නියමිතය. කෙසේ වෙතත්, වාරණ නියෝග දීර්ඝ කරගැනීම සඳහා අවශ්‍ය පාර්ශ්වයන්ට රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවද නීතිඥ සංගමය සඳහන් කර තිබේ.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර විය හැකි බැවින්, එයට ඇතුළු නොවන ලෙස නීතිඥයන් සහ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇත.
මේ අතර, කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගේ කාර්යාලවල බිත්තිවල ද ඉරිතැලීම් මතුව ඇති බව වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද ඉංජිනේරු කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉංජිනේරු කණ්ඩායම් එම පරිශ්‍රය පරීක්ෂා කළ බවත්, ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් අද ලැබීමට නියමිත බවත්ය.
අධිකරණ කටයුතු යළි පවත්වාගෙන යන ආකාරය සහ පරිශ්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි තීරණ විනිසුරුවරුන් සහ අදාළ බලධාරීන් විසින් දැනුම් දීමට නියමිත අතර, තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බව කොළඹ නීතිඥ සංගමය සඳහන් කරයි.



