ආචාර්ය හිඟයට සහ විශ්වවිද්‍යාල පද්ධතියේ අර්බුදයට ස්ථිර විසඳුම් ඉල්ලයි
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති බරපතළ ගැටලු සඳහා විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (09) දිවයින පුරා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වෙති.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ, පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට උත්සාහ කළද ගැටලුවලට ස්ථිර විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවයි.
සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ සහ සුදුසුකම් ලත් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බව ඔහු සඳහන් කරයි.
පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ආචාර්යවරුන් 1,000කට ආසන්න පිරිසක් ඉවත්ව ගොස් ඇති අතර, එම අතරතුර වාර්ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශය 2015දී පැවති 25,000ක පමණ මට්ටමේ සිට මේ වනවිට 45,000කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති බව සම්මේලනය පෙන්වා දී ඇත.
ආචාර්යවරුන්ගේ හිඟය පමණක් නොව, නේවාසිකාගාර, ආපනශාලා, දේශන ශාලා, අධ්‍යයන පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැනි යටිතල පහසුකම්ද වැඩිවන සිසු සංඛ්‍යාවට සරිලන ලෙස පුළුල් වී නොමැති බව සම්මේලනය සඳහන් කරයි. එම තත්ත්වය දැනට සේවය කරන ආචාර්යවරුන්ගේ වැඩබර වැඩි කරමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයටද බලපෑම් ඇති කරන බව ඔවුන්ගේ ස්ථාවරයයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් දක්වා පුළුල් කිරීම පිළිබඳ අදහස් පළ කර තිබුණද, අලුතින් විශ්වවිද්‍යාල පිහිටුවීමට පෙර දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17හි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම ප්‍රමුඛතාව විය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් සම්මේලනය බලධාරීන් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා කර ඇති බවත්, ඉදිරියටත් සාකච්ඡා සඳහා සූදානම් බවත් එහි ලේකම්වරයා පවසයි. එහෙත් තාවකාලික පියවර වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය හිඟය, පහසුකම් හිඟය සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.
අද පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල දේශන සහ අනෙකුත් අධ්‍යයන කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි අතර, ඉදිරියේදීද රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සිදුවිය හැකි බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අනතුරු අඟවා ඇත.



