32.4 C
Galle

කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි

Published:

“කොහේද කොහේද අපේ ලොවක්…”

දශක පහකට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ, පණ්ඩිත් අමරදේව සංගීතවත් කළ, වික්ටර් රත්නායක ගැයූ මේ ගීතය ලියන මොහොතේ එය 21 වැනි සියවසේ තරුණ දේශපාලන අරගලවල හඬක් බවට පත්වනු ඇතැයි කිසිවකු සිතන්නට ඇතැයි සිතීම අපහසුය. 1976 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිත්‍රපටය සඳහා නිර්මාණය වූ එම ගීතය අදත් තමන්ගේම ලෝකයක් සොයන තරුණ පරපුරක සංකේතයක් සේ කියවිය හැකිය.

ඒ “අපේ ලොව” සොයන තරුණ පරපුර අද සිටින්නේ අතේ ස්මාර්ට් දුරකථනයක් සමඟය. පුවත්පතක් එනතුරු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ වනතුරු හෝ දේශපාලන පක්ෂයක් තමන් වෙනුවෙන් කතා කරනතුරු බලා සිටීමට ඔවුන්ට අවශ්‍ය නැත. ඔවුන්ට තමන්ගේම කතාවක් නිර්මාණය කිරීමට, එය මිලියන ගණනකට ගෙන යාමට සහ අවශ්‍ය නම් වීදියකට බැසීමට හැකිය.

මේ වෙනස විග්‍රහ කරන නව කෘතියක් ලෙස මාධ්‍ය හා මාධ්‍ය සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය රංග කලන්සූරියගේ The Youthquake: Emergence of digitally connected citizens (The Fifth Estate) and captured legacy media (The Fourth Estate) in Asia සැලකිය හැකිය. කෘතිය සැප්තැම්බර් 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වුණු අතර, එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල අත්දැකීම් මත ගොඩනැඟී ඇත.

මෙම The Youthquake කෘතියේ ප්‍රධාන කර්තෘ ආචාර්ය රංග කලන්සූරිය සමඟ ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මියන්මාරය, නේපාලය සහ බංග්ලාදේශය යන ආසියානු රටවල් පහ නියෝජනය කරමින් කාන්තා මාධ්‍යවේදිනියන් පස්දෙනකු සම කර්තෘවරුන් ලෙස එක්වී තිබේ. ඒ අනුව ඉන්දුනීසියාව නියෝජනය කරමින් ඊවා දනායන්ති (Eva Danayanti), ශ්‍රී ලංකාව වෙනුවෙන් මන්දනා ඉස්මයිල් අබේවික්‍රම (Mandana Ismail Abeywickrema), බංග්ලාදේශයෙන් නාසියා අෆ්රින් මොනාමි (Nazia Afrin Monami), නේපාලයෙන් සෝනියා අවාලේ (Sonia Awale) සහ මියන්මාරයෙන් බෙටි හැන් (Betty Han) යන මාධ්‍යවේදිනියන් කෘතියට දායක වී ඇත. ඔවුන් තම තම රටවල තරුණ ඩිජිටල් ව්‍යාපාර, විරෝධතා, මාධ්‍ය පරිසරය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අත්දැකීම් හා විග්‍රහයන් කෘතියට එක් කරති.

මෙම කෘතිය Media Law Forum සහ IMS හි සම ප්‍රකාශනයකි

Media Law Forum සඳහන් කරන්නේ එය තම ප්‍රථම ජාත්‍යන්තර ප්‍රකාශනය බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ “හතරවන බලය” ලෙස මාධ්‍යය හඳුන්වන්නේ හේතුවක් ඇතුවය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට බලය අධීක්ෂණය කිරීම, ප්‍රශ්න කිරීම සහ ජනතාවට තොරතුරු ලබා දීමේ වගකීම වෘත්තීය මාධ්‍යයට පැවරී තිබිණි.

නමුත් පසුගිය දශක දෙක තුළ එම පද්ධතියේ ස්වභාවය වේගයෙන් වෙනස් විය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විලියම් ඩටන් විසින් ඉදිරිපත් කළ “Fifth Estate” සංකල්පය අනුව අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිටින පුරවැසියාම බලය නිරීක්ෂණය කරන, ප්‍රශ්න කරන සහ තමන්ගේම ආඛ්‍යානය ගොඩනගන නව බලවේගයක් බවට පත්වෙයි.

ආචාර්ය රංග කලන්සූරිය මෙම අදහස ආසියානු අත්දැකීම් සමඟ සසඳන්නේ ශ්‍රී ලංකාවේ 2022 අරගලය, බංග්ලාදේශයේ 2024 තරුණ විරෝධතා, නේපාලයේ සහ ඉන්දුනීසියාවේ විවිධ ජනතා හා තරුණ ව්‍යාපාර හරහාය. රටින් රටට විරෝධතා ආරම්භ කළ ක්ෂණික හේතු වෙනස් වූවත්, ඒවායේ යටිපෙළේ වගවීම, දූෂණය, පවුල්වාදය, පාරදෘශ්‍යභාවය සහ දුර්වල පාලනය සම්බන්ධ පොදු විරෝධතාවයක් පැවති බව ඔහුගේ විග්‍රහයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අරගලයට ප්‍රධාන තල්ලුවක් වූ අතර, බංග්ලාදේශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නේපාලයේ සමාජ මාධ්‍ය සීමා වැනි කරුණු විරෝධතාවල ක්ෂණික හේතු බව ඔහු පෙන්වා දෙයි. එහෙත් ඒ සියල්ලට යටින් තිබුණේ එකම වර්ගයේ ප්‍රශ්නයකි: “අප වෙනුවෙන් තීරණ ගන්නා පද්ධතිය අපට වග කියනවාද?”

මෙහිදී 2022 අරගලය ශ්‍රී ලංකාව සම්බන්ද විශේෂ උදාහරණයකි. පාරේ සිටි තරුණයා දේශපාලන පක්ෂයක ප්‍රකාශකයකු නොවීය. ඔහුගේ ජංගම දුරකථනයම ප්‍රවෘත්ති මධ්‍යස්ථානයකි. සමාජ මාධ්‍ය ගිණුම ඔහුගේ වේදිකාවකි. වීඩියෝව ඔහුගේ ප්‍රචාරක මෙවලමයි. එය පෙන්වා දුන්නේ පුරවැසියා තොරතුරු පාරිභෝගිකයකු පමණක් නොව, නිෂ්පාදකයකුද වී ඇති බවය.

එහෙත් Youthquake හි වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ තරුණයන් වීදි බැස බලය පෙරළූ පසු සිදුවන්නේ කුමක්ද යන්නයි.

රංග කලන්සූරියගේ විග්‍රහය අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පැවති තරුණ විරෝධතා පැරණි බල ව්‍යුහයන්ට විශාල අභියෝගයක් එල්ල කළද, එම රටවල නව වගවීම, පාරදෘශ්‍යභාවය සහ යහපාලන පද්ධති සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කීමට තවමත් නොහැකිය. ඔහු එය “පැරණි පද්ධති කඩා වැටෙන වේගයට නව පද්ධති බිහි නොවන තත්ත්වයක්” ලෙස විස්තර කරයි.

එනම් මෙය “තරුණ අරගල අසාර්ථකයි” යන සරල නිගමනයක් නොවේ. ඒ වෙනුවට එය නව ප්‍රශ්නයකි.

පාලනය පෙරළීමට තරුණයන්ට හැකි නම්, පාලනය ගොඩනැඟීමට ඔවුන්ට හැකිද?

මහජන මතය ක්ෂණිකව වෙනස් කිරීමට සමාජ මාධ්‍යයට හැකි නම්, වසර ගණනාවක් පුරා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ඒ බලය භාවිත කළ හැකිද?

වඩාත්ම වැදගත් ලෙස, තරුණ පරපුර ප්‍රධාන ධාරාවේ මාධ්‍යය විශ්වාස නොකරන්නේ නම්, පුවත්පත් කලාවේ විශ්වාසනීයත්වය නැවත ගොඩනගන්නේ කවුද?

මෙය Youthquake කෘතියේ හදවතටම යන ප්‍රශ්නයකි.

සමාජ මාධ්‍ය තරුණ පරපුරට අසාමාන්‍ය බලයක් ලබා දී තිබුණද එය සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බලයක් නොවේ.

අද පොදු මතය හැඩගස්වන්නේ මිනිසුන් පමණක් නොවේ. ඇල්ගොරිතමද එය හැඩගස්වයි. කෙනකු වැඩි වේලාවක් නැරඹිය හැකි අන්තර්ගතය හඳුනාගෙන නැවත නැවත ඔහු වෙත ගෙන ඒම, කෝපය, බිය හෝ උද්වේගය ජනනය කරන අන්තර්ගත වේගයෙන් පැතිරීම සහ අසත්‍ය තොරතුරු නිවැරදි තොරතුරකට වඩා ඉක්මනින් විශාල පිරිසකට ළඟාවීම නිසා සමාජ මාධ්‍යයේ බලය දෙපැත්තක් ඇති ආයුධයක් බවට පත්ව තිබේ.

ආචාර්ය කලන්සූරිය පෙන්වා දෙන්නේ ගැටුම් සහ අර්බුද සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලට අමතර අවධානයක් ලබාදෙන බවත්, ඒ හරහා හානිකර අන්තර්ගත ප්‍රවර්ධනය වීමේ අවදානමක් පවතින බවත්ය. රෝහින්ග්‍යා අර්බුදය සහ ශ්‍රී ලංකාවේ දිගන සිදුවීම පිළිබඳ අත්දැකීම් ඔහු ඒ සඳහා උදාහරණ ලෙස දක්වයි.

එහෙත් මෙහි තවත් ගැඹුරු ගැටලුවක් ඇත.

පුවත්පතක ප්‍රධාන කතුවරයා කාට වග කියන්නේද යන්න අපට සාමාන්‍යයෙන් පැහැදිලිය. නමුත් සමාජ මාධ්‍යයේ ප්‍රවණතා තීරණය කරන ඇල්ගොරිතමය කාට වග කියන්නේද?

කොළඹ සිටින පරිශීලකයකුගේ දේශපාලන මතයට බලපාන තීරණයක් ගනු ලබන්නේ කොහේද?

මෙය ජාතික සීමා ඉක්මවා ගිය ප්‍රශ්නයකි. කෘතිය පෙන්වා දෙන්නේ නව තොරතුරු පරිසරයට භූගෝලීය සීමා නොමැති වුවත්, රටවල නීති තවමත් දේශසීමා තුළ ක්‍රියාත්මක වන බවයි. මේ දෙක අතර ඇති පරතරය අනාගත ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල අභියෝගයක් බව ඔහු පෙන්වා දෙයි.

මෙම කතාවේ තවත් පැත්තක් තිබේ. එය තරුණයන් ගැන පමණක් නොව, පුවත්පත් කලාවේ ආර්ථික පැවැත්ම ගැනද වේ.

ඩිජිටල් වේදිකා වෙත දැන්වීම් මුදල් ගලා යාමත් සමඟ සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල ආදායම් පදනම දුර්වල වී තිබේ. ආචාර්ය කලන්සූරිය පෙන්වා දෙන්නේ ආසියාවේ රටවල් ගණනාවක දේශීය දැන්වීම්වල විශාල කොටසක් ගෝලීය ඩිජිටල් වේදිකා වෙත ගමන් කර ඇති බවත්, එය වෘත්තීය පුවත්පත් කලාව පවත්වාගෙන යාමට ඇති හැකියාවට බලපාන බවත්ය.

මෙය මුදල් පිළිබඳ කතාවක් පමණක් නොවේ.

දැන්වීම් ආදායම අඩුවීම යනු වාර්තාකරුවන් අඩුවීමය.
වාර්තාකරුවන් අඩුවීම යනු විමර්ශන අඩුවීමය.
විමර්ශන අඩුවීම යනු බලය පිළිබඳ ස්වාධීන ප්‍රශ්න අඩුවීමය.

එවිට හිස්වන අවකාශය පුරවන්නේ කවුද?

එය පස්වන බලවේගයයි.

නමුත් සමාජ මාධ්‍ය පුවත් කාමරයක් නොවේ. එහි සත්‍යාපනය, සංස්කරණය, මූලාශ්‍ර පරීක්ෂාව සහ වගවීම සම්බන්ධයෙන් වෘත්තීය මාධ්‍යයට තිබෙන ආයතනික පද්ධතියම නොමැත. එබැවින් හතරවන බලය දුර්වල වෙද්දී පස්වන බලය ස්වයංක්‍රීයව එහි හොඳම ගුණාංග උරුම කරගන්නා බවක් පෙනෙන්නේ නැත.

මේ නිසා අනාගතය “මාධ්‍ය එදිරිව සමාජ මාධ්‍ය” යන සරල සටනක් නොවිය යුතු බව කලන්සූරියගේ අදහසයි. ඔහු අවධාරණය කරන්නේ මේ ද්විත්වය එකිනෙක ශක්තිමත් කරගත යුතු බවයි. වෘත්තීය මාධ්‍යයට විමර්ශනය, සත්‍යාපනය සහ පසුබිම ලබාදිය හැකි අතර, ඩිජිටල් පුරවැසියාට වේගය, පරාසය සහ සහභාගීත්වය ලබාදිය හැකිය.

මෙම කෘතියේ තවත් වැදගත් අදහසක් වන්නේ ගෝලීය තාක්ෂණ සමාගම් සමඟ තනි තනි කුඩා රටවල් සටන් කිරීමේ අපහසුතාවයි.

ශ්‍රී ලංකාව, නේපාලය හෝ බංග්ලාදේශය වැනි රටකට තනිවම විශාල තාක්ෂණ සමාගමක් සමඟ සාකච්ඡා කිරීම පහසු නොවේ. එබැවින් Global South රටවල් එකට පැමිණ ඩිජිටල් වේදිකා සමඟ සාකච්ඡා කිරීමට පොදු යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කලන්සූරිය අවධාරණය කරයි.

මෙය වැදගත් වන්නේ අනාගතයේ සමාජ මාධ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නය “අන්තර්ගතය මකා දමන්නේ කවුද?” යන්නෙන් ඔබ්බට යන බැවිනි.

“තොරතුරු පද්ධතියේ ආර්ථික වටිනාකම කාටද?” යන්නද ඒ සමඟ අසන්නට සිදුවේ.

මෙම කෘතිය එළිදැක්වීමේ වැඩසටහන අවසානයට රසවත් මතකයක් ගෙන ආවේ එහි න්‍යාය සහ දේශපාලනය අතරට පැරණි ගීතයක් යොදා ගැනීමෙනි.

ආචාර්ය කලන්සූරිය සඳහන් කරන පරිදි “කොහේද කොහේද අපේ ලොවක්” ගීතය ඔහුට අරගලය හා තරුණ පරපුරේ සෙවීම සමඟ සම්බන්ධ වූයේ අහම්බෙනි. එම ගීතය වසර පනහකට පෙර මඩොල් දූව චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූවක් වුවද, එහි “අපේම අපේම නවාතැනක්” සෙවීමේ ආවේගය 21 වැනි සියවසේ තරුණ අරගලවලටත් ගැළපෙන බව ඔහුගේ කියවීමයි.

එතැනදී සංගීතය සැබැවින්ම විශ්ව භාෂාවක් බවට පත්වෙයි. පරම්පරා වෙනස් වුවත්, “අපට අයිති ලෝකයක් කොහෙද?” යන ප්‍රශ්නය වෙනස් වී නැත. වෙනස් වී ඇත්තේ එය අසන ආකාරය පමණි.

එක් පරම්පරාවක් එය ගීයකින් ඇසුවේය.

තවත් පරම්පරාවක් එය සමාජ මාධ්‍ය පෝස්ටුවකින් ඇසීය.

තවත් පරම්පරාවක් එය වීදියට ගෙන ගියේය.

අද ප්‍රශ්නය වන්නේ එම හඬට පිළිතුරු දෙන්නේ කවුද යන්නයි.

The Youthquake අවසානයේ අපට ලබාදෙන්නේ ඒ පිළිතුරක් නොව, වඩා බරපතළ ප්‍රශ්නයකි.

හතරවන බලය අහිමි වූ ලෝකයක පස්වන බලය අපව නිදහස් කරයිද? නැතිනම් නව ආකාරයකින් අපව පාලනය කරයිද?

ආසියාවේ තරුණ පරපුර දැනටමත් තම පිළිතුරේ පළමු කොටස ලියා අවසන් කර තිබේ.

දැන් ඉතිරිව ඇත්තේ එම “Youthquake” පසුපසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නව ආයතන බිහි කරන්නේ කවුරුන්ද යන්නයි.


ආචාර්ය රංග කලන්සූරිය

දශක තුනකට වැඩි කාලයක් පුරා මාධ්‍ය සහ මාධ්‍ය සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති රංග කලන්සූරිය මහතා පසුගිය වසර 17ක කාලය තුළ International Media Support හි ආසියානු කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු දිනමිණ සහ ඩේලි නිව්ස් පුවත්පත් ඔස්සේ වෘත්තීය පුවත්පත් කලාවට පිවිසි අතර, ඉන්දියාවේ Indian Institute of Mass Communication හි පුහුණුව ලබා තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Reuters Fellow ලෙසද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පිළිබඳ පළමු ආචාර්ය උපාධිධාරියා ලෙසද හඳුන්වා දී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඔහු සේවය කර ඇත.

ඔහුගේ නවතම The Youthquake කෘතිය සැප්තැම්බර් 7 වැනිදා BMICH හිදී එළිදැක්වූ අතර, කෘතිය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් පහක තරුණ ඩිජිටල් ව්‍යාපාර හා මාධ්‍ය පරිවර්තනය විමසා බලයි. පළමු පිටපත් ත්‍රිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් වෙත සහ වැදිජනතාවගේ ප්‍රධානියා වන ඌරුවරිගේ වන්නියලැත්තන් වෙත පිරිනැමුණු අතර, දේශපාලන ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Related articles

spot_img
error: Content is protected !!