29.7 C
Galle

දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක්

Published:

ශ්‍රී දළදා වහන්සේ වැඩහිඳුවීම සඳහා අභිනවයෙන් නිර්මාණය කළ ස්වර්ණමය මහ කරඬුවක් සැප්තැම්බර් 8 වැනිදා චිරාගත සම්ප්‍රදායානුකූලව පූජා කර තිබේ.

මල්වතු–අස්ගිරි උභය මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගිත්වයෙන් මෙම පූජා කර්මය සිදුකර ඇත.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව අභිනව කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04කි. ඉන් රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් ඇතුළත් වේ.

දැනට පවතින රන් මිල අනුව කරඬුවේ අඩංගු රත්තරන් පමණක් දළ වශයෙන් රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමක් ගන්නා අතර, මැණික්වල වටිනාකමද ඊට අමතර වේ. කෙසේ වෙතත්, කරඬුවේ සමස්ත නිර්මාණ වටිනාකම සම්බන්ධයෙන් නිල තක්සේරුවක් ප්‍රකාශයට පත් කර නොමැත.

කරඬුව නිර්මාණය කර ඇත්තේ ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව බවද නිල වශයෙන් දැනුම්දී තිබේ.

මේ අතර, මෙතෙක් දළදා වහන්සේ වැඩසිටි පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව ඉවත් කර නොමැති අතර, එය එහි ඓතිහාසික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.

දෙවැනි විමලධර්මසූරිය රජු සමයේ ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සම්පූර්ණ කරන ලද එම පැරණි කරඬුවට සුවිශේෂී ඓතිහාසික හා ආගමික වටිනාකමක් ඇති බවද දළදා මාලිගාවේ භාරකාරත්වය පෙන්වා දෙයි.

නව කරඬුව පූජා කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ කෙරෙහි පවතින ගෞරවය හා භක්ත්‍යාදරය තවදුරටත් තහවුරු කිරීම සහ එම ගෞරවය ලෝකවාසීන් හමුවේ ප්‍රකාශ කිරීමයි.

නව රන් කරඬුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ඇතැම් තොරතුරු සාවද්‍ය බව පෙන්වා දෙමින් මල්වතු–අස්ගිරි උභය මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමක්ද සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!