29.7 C
Galle

සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්‍රතිකාරයට

Published:

සුනඛ ගහනය පාලනයට නව පනතක් – සුනඛයන් ලියාපදිංචිය සහ ජලභීතිකා එන්නත් අනිවාර්ය කිරීමට යෝජනා

ශ්‍රී ලංකාවේ අයාලේ යන සුනඛ ගහනය සම්බන්ධයෙන් පවතින ගැටලුව මේ වනවිට මහජන සෞඛ්‍යයට පමණක් නොව මාර්ග ආරක්ෂාවට සහ රජයේ වියදම්වලට ද බලපාන තත්ත්වයක් බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජික පෙරේරා සඳහන් කරන්නේ වසරකට ලක්ෂ 2.5කට වැඩි පිරිසක් සුනඛයන් සපාකෑම හේතුවෙන් රෝහල් ප්‍රතිකාර ලබා ගන්නා අතර, ඒ සඳහා රජයට වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැය වන බවයි. එමෙන්ම පසුගිය වසරේ ජලභීතිකා රෝගයෙන් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇති බවත්, මාර්ග අනතුරුවලින් සියයට 30කට පමණ අයාලේ යන සුනඛයන් සම්බන්ධ වන බවත් ඔහු පවසයි.

මේ අතර සුනඛ ගහනය පාලනය කිරීම සහ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා “ජලභීතිකා තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත” ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබීමද විශේෂත්වයකි.

නව පනත් කෙටුම්පත මගින් දැනට ක්‍රියාත්මක ජලභීතිකා ආඥා පනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත එක් නීති රාමුවක් යටතට ගෙන ඒමට අපේක්ෂා කරයි. එහි ප්‍රධාන අරමුණු වන්නේ සුනඛ ගහනය පාලනය කිරීම, සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම අනිවාර්ය කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීමේ නීතිමය ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ මේ කටයුතු ක්‍රියාත්මක කරන ආයතනවල බලතල හා වගකීම් පැහැදිලි කිරීමයි.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා මුල් කැබිනට් අනුමැතිය 2025 සැප්තැම්බර් මාසයේදී ලබාදී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතියද ලැබී තිබේ. අනතුරුව එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීතියක් නොවන අතර, ඉදිරි ක්‍රියාමාර්ග අනුව එහි අවසන් නීතිමය විධිවිධාන තීරණය වනු ඇත.

වෛද්‍ය සංජික පෙරේරා අවධාරණය කර ඇත්තේ අයාලේ යන සුනඛයන්ට ආහාර ලබාදෙන පුද්ගලයන් ඔවුන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, වන්ධ්‍යාකරණය සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහාද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අයාලේ යන සුනඛ ගැටලුවට විසඳුම ලෙස සුනඛයන් ඉවත් කිරීම පමණක් නොව, සුනඛයන් ඇති කරන පුද්ගලයන් ලියාපදිංචි කිරීම, එන්නත් කිරීම, වන්ධ්‍යාකරණය, අතහැර දැමීම වැළැක්වීම සහ පළාත් පාලන ආයතනවල වගකීම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම යන කරුණු එකට ගෙන යාම අවශ්‍ය වේ.

රජයද ජාතික සුනඛ ගහන කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරමින් සිටින බව සඳහන් කර ඇති අතර, නව පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් සුනඛයන් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය හා ආයතනික වගකීම් වඩාත් පැහැදිලි වීමට ඉඩ තිබේ.

එබැවින් ඉදිරියේදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන කරුණ වන්නේ අයාලේ යන සුනඛයන් පාලනය කිරීම පමණක් නොව, සුනඛයෙකු ඇති කරන පුද්ගලයාගේ වගකීම නීතියෙන් තහවුරු කරමින්, ජලභීතිකාව, සුනඛ සපාකෑම් සහ මාර්ග අනතුරු අවම කරගැනීමට ක්‍රමවත් පද්ධතියක් ඇති කිරීමය.

Related articles

spot_img
error: Content is protected !!