දීර්ඝ ආයුෂ ලැබූ ජපානයට අලුත් අභියෝගයක්
ජපානයේ අවුරුදු 100ක් හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂය ඉක්මවා 107,677ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම පිරිසෙන් සියයට 88ක් කාන්තාවන් වන අතර, එරට වයස්ගතම කාන්තාව අවුරුදු 114ක් වයසැති අතර වයස්ගතම පිරිමියා අවුරුදු 112ක් වයසැති අයෙකි.
ජපාන ජනතාවගේ දීර්ඝ ආයුෂ සඳහා මත්ස්‍ය, එළවළු සහ බත් බහුල සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව මෙන්ම ක්‍රියාශීලී ජීවන රටාවද බලපාන බව විශේෂඥයෝ පෙන්වා දෙති. වැඩිහිටියන් අතර ඇවිදීම, පාපැදි පැදීම සහ පොදු ප්‍රවාහනය භාවිත කිරීම වැනි ක්‍රියාකාරකම්ද සාමාන්‍ය ජීවන රටාවේ කොටසක් වී තිබේ.
කෙසේ වෙතත්, ජපානයේ දිගු ආයුෂ සමඟම බරපතළ ජනගහන අර්බුදයක්ද වර්ධනය වෙමින් පවතී. එරට පසුගිය වසරේ ප්‍රජනන අනුපාතය 1.14ක් දක්වා වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර, ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය මට්ටම වන්නේ එක් කාන්තාවකට දරුවන් 2.1ක් පමණ වීමයි.
මේ වනවිට ජපාන ජනගහනයෙන් සියයට 30කට ආසන්න පිරිසක් අවුරුදු 65ට වැඩි පුද්ගලයන් වන අතර, එය 2070 වනවිට සියයට 40කට ආසන්න වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එම කාලය වනවිට රටේ සමස්ත ජනගහනය මිලියන 87ක් පමණ දක්වා අඩුවනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
තරුණ පරම්පරාව දරුවන් බිහිකිරීමට දිරිගැන්වීම සඳහා රජය සහනාධාර හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද, උපත් අනුපාතය තවමත් ඉහළ ගොස් නොමැත. විවාහ අනුපාතය පහළ යාම, දරුවන් ඇති දැඩි කිරීමේ ඉහළ පිරිවැය සහ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා වෙළෙඳපොළට එක්වීම වැනි කරුණුද මේ සඳහා බලපාන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
1963දී ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සිටියේ 153 දෙනකු පමණි. එය 1998 වනවිට 10,000 ඉක්මවා ගොස් ඇති අතර, දශක කිහිපයක් තුළ එම සංඛ්‍යාව දස ගුණයකටත් වඩා ඉහළ යමින් අද ලක්ෂයද පසුකර තිබේ.
ඒ අනුව ලෝකයේ දීර්ඝතම ආයුෂ ලබන ජනතාවක් සිටින රටක් බවට ජපානය පත්වෙමින් සිටියද, එම වැඩිහිටි ජනගහනය රැකබලා ගැනීමට සහ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තරුණ ජනගහනය වේගයෙන් අඩුවීම ජපානය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබේ.



