27.2 C
Galle

ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් ඉහළට, පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

Published:

දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (15) දිනයේ සිට ලැබෙමින් පවතින සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා, ගිං, බෙන්තර, කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (16) උදෑසන 6.00 වන විට මෙම ගංගාවල මධ්‍යම සහ පහළ ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් අවදානම් මට්ටමට ළඟා වී තිබේ.

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළු ගඟ ද්‍රෝණියේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 200කට ආසන්නය. කළු ගඟේ ඇල්ලගාව, මල්ලිකන්ද සහ අනෙකුත් ප්‍රදේශවලටද මිලිමීටර් 75ත් 150ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ.

අත්තනගලු ඔය ද්‍රෝණියේ දූණමලේ ප්‍රදේශයට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ගිං ගඟ සහ බෙන්තර ගඟ ආශ්‍රිත බද්දේගම හා ඇල්පිටිය ප්‍රදේශවලටද මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

ඒ අනුව නිල්වලා, ගිං, අත්තනගලු ඔය, කළු සහ බෙන්තර ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද දිනයේද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් ඉදිරියේදී ගංගා ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් නිකුත් කරන නවතම නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර ගාල්ල වැනි නාගරික ප්‍රදේශවල අධික වර්ෂාවෙන් පසු ඇතිවන ප්‍රාදේශීය ගංවතුරට දුර්වල ජලපවහන පද්ධතිද හේතුවක් වන බැවින්, ජලපවහන මාර්ග අවහිර නොවන ලෙස පවත්වාගෙන යාමට අවධානය යොමු කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

Related articles

spot_img
error: Content is protected !!