ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර චැට්ස්වර්ත් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරක් වාර්තා කරමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු රෝහල්ගත කර තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ NBC Los Angeles ආයතනයේ NewsChopper 4 හෙලිකොප්ටරය වන අතර එය Telemundo 52 සඳහාද පුවත් ආවරණ සිදුකර තිබේ. හෙලිකොප්ටරයේ සිටි මාධ්‍යවේදිනී Eliana Moreno සහ George Marciniw යන කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා මියගිය බව NBC4 තහවුරු කර ඇත.
හෙලිකොප්ටරය වාණිජ ගොඩනැගිලි දෙකක් අතරට කඩා වැටීමෙන් පසු ඇති වූ ගින්න වාහන හතරකට සහ ගබඩා බහාලුම් දෙකකට පැතිර ගොස් තිබේ. ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ භටයන් 70කට වැඩි පිරිසක් යොදවා තිබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ හෙලිකොප්ටර් කිහිපයක් තිබී ඇත්තේ මීට පෙර SUV රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ මාරාන්තික රිය අනතුර ආවරණය කරමිනි. එම බස් අනතුරෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා තිබිණි.
හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) විමර්ශනය මෙහෙයවයි.



