27.5 C
Galle

අරවින්ද ද සිල්වා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවක ඇපකරුවන් ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුවට අදාළව අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇපකරුවන් ලෙස පෙනී සිටියේ හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙනි. අද නඩුව කැඳවූ අවස්ථාවේ ඇපකරුවන් දෙදෙනා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.

අරවින්ද ද සිල්වාගේ මව රණී ද සිල්වා මහත්මිය සැප්තැම්බර් 14 වැනිදා අභාවප්‍රාප්ත වී ඇති අතර, ඇයගේ අවසන් කටයුතු අද කොළඹදී පැවැත්වීම හේතුවෙන් අරවින්දට අධිකරණයට පැමිණිය නොහැකි වූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ. වරෙන්තු ඉවත් කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී එම කරුණ සම්බන්ධ ලේඛන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ මෙම එයාර්බස් විමර්ශනයේ සැකකරුවන් නොවීමයි. ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත්තේ සැකකාරියක වෙනුවෙන් අධිකරණයේ ඇපකරුවන් ලෙස පෙනී සිටි අවස්ථාවේ නියමිත පරිදි අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙනි. නීතිමය ක්‍රියා පටිපාටිය අනුව අධිකරණයට පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලීමේ හැකියාව ඔවුන්ට පවතින බව නීතිඥයෙකු සඳහන් කර තිබේ.

මේ අතර, අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මැයි 8 වැනිදා කොළඹදී මියගොස් තිබිණි. ඔහුගේ බිරිඳට එරෙහිවද පසුව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, ඇය මේ වනවිට විදේශගතව සිටින බව වාර්තා වේ.

මීට පෙර ජූලි මාසයේදී අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇපකරුවන්ගේ වගකීමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අධිකරණයේ කරුණු ඉදිරිපත් වී තිබූ අතර, එහිදී ඇප මුදල රුපියල් මිලියන 20ක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!