27.4 C
Galle

පිදුරු ගිනි තැබීම ගැන ලාල්කාන්තගේ ප්‍රකාශයට ගොවීන්ගෙන් විරෝධය

Published:

කුඹුරුවල පිදුරු ගිනි තබන ගොවීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී තිබේ.

“පුණරුදයට අරුණලු 2026” මහ කන්නයේ වගා කටයුතු සඳහා කෙත් සකස් කිරීම සහ සී සෑම ආරම්භ කිරීමේ අවස්ථාවකට මහවැලි එච් කළාපයේ හුරුගමුවේදී එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ කැකිරාව ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී කෙත්වල පිදුරු ගිනි තබන ආකාරය දුටු බවයි. පිදුරු ගිනි තැබීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබියදීත් එය සිදුකරන බැවින් නීතිමය පියවර ගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

එහෙත් ගොවීන් පවසන්නේ පිදුරු ගිනි තැබීම හිතාමතා පරිසරයට හානි කිරීම සඳහා කරන ක්‍රියාවක් නොවන බවයි. කුඹුරුවල පිදුරු ගොඩගසා තිබීමෙන් මීයන් වැඩිවිය හැකි බවත්, ඒ නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් උපදෙස් දුන් බවට ඇතැම් ගොවීන් කරුණු දක්වා තිබේ. මී උණ ඇතිවීමේ අවදානමද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර ගොවි සංවිධාන නියෝජිතයන් පවසන්නේ පිදුරු ගිනි තැබීම පමණක් ගොවීන්ගේ ගැටලුවක් ලෙස ඉදිරිපත් කිරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින මූලික ගැටලු යටපත් වන බවයි. රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය අවිධිමත් ලෙස අලෙවි වීම පිළිබඳවද ඔවුහු චෝදනා කරති.

ගොවීන් ඉදිරිපත් කරන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ රජය ප්‍රකාශයට පත්කර ඇති වී මිලදී ගැනීමේ මිල සහ වෙළෙඳපොළේ සැබෑ මිල අතර පවතින වෙනසයි. 2026 වසරේදී නාඩු කිලෝවක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 130කටත්, කීරි සම්බා රුපියල් 140කටත් රජය මිලදී ගැනීමට සහතික මිල නියම කර තිබේ.

කෙසේ වෙතත්, ඇතැම් ගොවීන්ට රුපියල් 90ක් වැනි අඩු මිලකට වී අලෙවි කිරීමට සිදුව ඇත. රජය විසින් නියම කළ මිලට වී මිලදී ගැනීම නිසි ලෙස සිදු නොවන බවටද ඔවුන් චෝදනා කරති.

ඒ අනුව, කෙත්වල පිදුරු ගිනි තැබීමේ පරිසර හා සෞඛ්‍ය ගැටලුවට විසඳුම සෙවීම සමඟම, ගොවීන් එවැනි ක්‍රියාවකට යොමුවන ආර්ථික හා කෘෂිකාර්මික හේතු පිළිබඳවද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!