ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ ද්‍රෝණියේ පහත්බිම් සඳහා ඇම්බර් මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය අද (20) පස්වරු 12.30ට නිකුත් කළ නිවේදනය අනුව එම අනතුරු ඇඟවීම හෙට (21) පස්වරු 12.30 දක්වා බලපැවැත්වේ.
ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු තද වැසි ලැබී ඇති බැවින්, තවදුරටත් වැසි පැවතීමත් සමඟ තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය–දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිං ගඟ නිම්නයේ පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ඊයේ (19) ගාල්ල දිස්ත්‍රික්කයේ උපරිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 132.5ක වර්ෂාපතනයක් උඩුගම ප්‍රදේශයෙන් ද නෙළුව බටුවංගල ප්‍රදේශයෙන් මිලිමීටර් 126.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.
නෙළුව–දූවිලි ඇල්ල මාර්ගයේ මාවිට ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ ජලය රැඳී ඇති බවද වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද අද දිනය සඳහා බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිං ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට ජල මට්ටම් ඉහළ යාම පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසත්, ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යාම සඳහා සූදානමින් සිටින ලෙසත් බලධාරීහු දැනුම් දෙති. රියදුරන්ටද ජලයෙන් යටවූ මාර්ග හරහා ගමන් කිරීමේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.
විශේෂයෙන් නාගොඩ–බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගය, නාගොඩ–මාපලගම, නාගොඩ–උඩුගම–කුරුපනාව, උඩුගම–තවලම සහ තවලම–නෙළුව මාර්ග අද සවස වනවිට ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
හදිසි තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ 0112 136 136 අමතන ලෙස දැනුම් දී තිබේ.



