29.2 C
Galle

ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 11ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පැය කිහිපයකට පසුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු අතරින් විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් පාසල් දරුවන්ට බරපතළ තුවාල සිදු නොවීම පිළිබඳවයි.

අනතුර පසුගිය 21 වැනිදා පෙරවරු 6.15ට පමණ සිදුව ඇති අතර, බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ ඇතුළු වාහන 11ක් ඊට සම්බන්ධ වී තිබේ. පොලිසිය පවසන්නේ ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් අධික වේගයෙන් පැමිණ හදිසියේ තිරිංග යෙදීමෙන් ලිස්සා ගොස් මාර්ග ආරක්ෂක බැම්මේ ගැටී අනතුර ආරම්භ වූ බවයි. ඉන් අනතුරුව පාසල් දරුවන් රැගත් බස් රථය ඇතුළු පසුපසින් පැමිණි වාහන ගණනාවක් එකිනෙක ගැටී තිබේ. පොලිසිය මෙම අනතුරට අධික වේගය සහ කැබ් රථ රියැදුරුගේ දැඩි නොසැලකිල්ල ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත.

මෙහිදී රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සෙනෙධීර මහතා සඳහන් කර ඇත්තේ අනතුරට සම්බන්ධ පාසල් බස් රථයේ සිටි සියලු දරුවන් ආසන පටි පැළඳ සිටි බවත්, රෝහල්ගත කළ දරුවන් අටදෙනාට බරපතළ තුවාල සිදුව නොතිබූ බවත්ය. අනෙක් වාහනවල සිටි පුද්ගලයන්ගේ තුවාලවල බරපතළභාවය අඩු කිරීමටද ආසන පටි බලපා ඇති බව ඔහු සඳහන් කර තිබේ.

මෙය විශේෂ අවධානයට ලක්වන තත්ත්වයක් වන්නේ සියලු මගීන් සඳහා අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන දින දෙකකට පසුව මෙම අනතුර සිදුවීමයි. සැප්තැම්බර් 19 මධ්‍යම රාත්‍රියේ සිට එම නීතිය ක්‍රියාත්මක වන අතර, ආසන පටි නොමැති හෝ ඒවා නොපළඳින රියැදුරන් හා මගීන්ට නීතිමය පියවර ගැනීමට පොලිසියට හැකියාව තිබේ.

එහෙත් මේ අනතුරෙන් මතුවන තවත් වැදගත් ප්‍රශ්නය වන්නේ ආසන පටි තිබීමෙන් පමණක් අධිවේගී මාර්ග ආරක්ෂිත කරගත හැකිද යන්නයි.

අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රදේශයට වැසි පැවති අතර, තෙත් මාර්ගයක අධික වේගයෙන් තිරිංග යෙදීමෙන් වාහනයක් ලිස්සා යාමේ අවදානම ඉහළ යන බව පොලිසියම පෙන්වා දෙයි. එබැවින් වැසි සහිත කාලගුණයකදී වේගය අඩු කිරීම, ඉදිරියෙන් යන වාහනය සමඟ ප්‍රමාණවත් දුරක් තබා ගැනීම සහ හදිසි තිරිංග යෙදීමෙන් වළකින රිය පැදවීම වඩාත් වැදගත් වේ.

දැනට ශ්‍රී ලංකා අධිවේගී මාර්ගවල සාමාන්‍ය උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100කි. මාර්ග සංවර්ධන අධිකාරියද ආරක්ෂිත දුරක් පවත්වා ගැනීම සහ තෙත් මාර්ගවලදී විශේෂයෙන් සැලකිලිමත් වීම අධිවේගී මාර්ග භාවිතයේ මූලික ආරක්ෂක උපදෙස් ලෙස දක්වා තිබේ.

මේ අනතුරෙන් පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ ආසන පටිය අනතුර වැළැක්වීමේ උපකරණයක් නොව, අනතුර සිදුවූ පසු ජීවිත හා බරපතළ තුවාල අවම කරන ආරක්ෂක උපකරණයක් බවයි. අනතුර වළක්වා ගැනීම සඳහා ඊට පෙර අවශ්‍ය වන්නේ වේග සීමා පිළිපැදීම, තෙත් මාර්ගයට ගැළපෙන වේගයක් තෝරාගැනීම, ආරක්ෂිත දුර පවත්වා ගැනීම සහ රියැදුරාගේ අවධානයයි.

ඒ අනුව ගැටලුව ආසන පටි පැළඳීමෙන් අවසන් නොවේ. “අනතුරක් වුණාම බේරෙන්නේ කොහොමද?” යන ප්‍රශ්නයට ආසන පටිය පිළිතුරක් දෙන අතර, “අනතුර නොවීමට කළ යුත්තේ කුමක්ද?” යන ප්‍රශ්නයට පිළිතුර රියැදුරාගේ වේගය හා හැසිරීම තුළ තිබේ.

Related articles

spot_img
error: Content is protected !!