22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කථානායකවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අනුව 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයකට ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි.
එසේම, පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ සඳහන් වචන කිහිපයක් සංශෝධනය කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එමෙන්ම, පනත ක්‍රියාත්මක වන දිනයේ අගවිනිසුරු ධුරය දරන පුද්ගලයා සම්බන්ධයෙන් වසර හයක ධුර කාල සීමාව අදාළ නොවන බව සඳහන් කරමින් අමතර විධිවිධානයක් ඇතුළත් කිරීමටද තීරණය කර ඇත.
මේ අතර අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව තීරණය කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව කථානායකවරයා දැනුම් දුන්නේය.
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීම ඇතුළු කරුණු සඳහාය. එම පනත් කෙටුම්පත අගෝස්තු 18 වැනිදා පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කළ අතර, එදිනම අධිකරණ සංශෝධන පනත් කෙටුම්පතද ඉදිරිපත් කෙරිණි.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබූ අතර, ඒවා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල සලකා බැලිණි. අධිකරණය එහි තීරණය රහසිගතව කථානායකවරයා වෙත යොමු කර තිබුණි.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු අනුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් 25 වැනිදා ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.



