2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ආරම්භ විය.
සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, විනිසුරුවරුන් වන සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ තීන්දුව කියවීම දහවල් 12.30ට පමණ ආරම්භ වූ අතර, විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා 23,270ක පසුබිම සහ නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ පැහැදිලි කෙරෙමින් තිබේ.
නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණේ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාර සම්බන්ධයෙන් සූදානම් වීම සහ වෙනත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙන්ය. මුලදී විත්තිකරුවන් 25 දෙනකු සිටි නමුත් නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවකු මියයාම හේතුවෙන් මේ වනවිට 24 දෙනකු සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ.
මෙය වසර පහකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනකු සාක්ෂි ලබාදී ඇති අතර, විවිධ පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076ක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ. විත්තිකරුවන් විසින් පොලිසියට ලබාදී තිබූ ප්‍රකාශ 10ක්ද සාක්ෂි ලෙස පිළිගැනීමට අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.
සාක්ෂි විභාගය පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් වූ අතර, විත්තිය සහ පැමිණිල්ල ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
අද තීන්දුව කියවීම ආරම්භ කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට දිවා ආහාරය ලබාදීම සඳහා පස්වරු 1.45 දක්වා අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී. පසුව තීන්දුව කියවීම යළි ආරම්භ කර තිබේ.
මේ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වෙනුවෙන් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, විශේෂ පොලිස් කණ්ඩායම් සහ ආරක්ෂක නිලධාරීන් අධිකරණ පරිශ්‍රය හා අවට යොදවා තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවසන් වන තුරු විත්තිකරුවන්ට එරෙහි එක් එක් චෝදනාව පිළිබඳ අධිකරණයේ තීරණය අදියරෙන් අදියර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



