30.2 C
Galle

රැඳවියාගේ මළසිරුර භාරගන්න ඥාතියකු නෑ, පවුලම බන්ධනාගාරයේ

Published:

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී අසනීප වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මියගිය 24 හැවිරිදි තරුණයකුගේ මළසිරුර භාර ගැනීමට ඥාතියකු සොයා බැලීමේදී, ඔහුගේ පවුලේ සාමාජිකයන් රැසක් බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වීමත් සමඟ එම මළසිරුර රජයේ වියදමින් භූමදානය කිරීමට සිදුවූ පුවතක් ගාල්ලෙන් වාර්තා වේ.

මෙම තරුණයා මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2026 මැයි 26 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී සැප්තැම්බර් 13 වැනිදා හදිසියේ අසනීප වී කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සැප්තැම්බර් 17 වැනිදා මියගොස් ඇත.

මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මියගිය තරුණයාගේ මව සහ සහෝදරයන් දෙදෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත මේ වනවිට බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඔහුගේ පියාද වසරක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට, තරුණයාගේ මරණයට සතියකට පමණ පෙර නිදහස්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම මියගිය තරුණයාගේ පළමු බිරිඳ දරුවා සමඟ ඔහුගෙන් වෙන්ව ගොස් ඇති අතර, පසුව ඔහු දෙවන විවාහයක් කරගෙන ඇති බවද පොලිසිය පවසයි. එම බිරිඳ සම්බන්ධයෙන්ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී මියගිය තරුණයාගේ පියා විසින් මළසිරුර හඳුනාගෙන තිබේ. පවුලේ අනෙකුත් සාමාජිකයන් ද බන්ධනාගාරගතව සිටින බැවින් මළසිරුර භාරගෙන අවසන් කටයුතු සිදුකිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඔහු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත.

ඒ අනුව මළසිරුර රජයේ වියදමින් අවසන් කටයුතු කිරීමට තීරණය වී ඇති අතර, දඩල්ල පොදු සුසාන භූමියේදී මළසිරුර භූමදානය කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා කරාපිටිය රෝහලේ සුළු සේවා පාලකවරයාට නියෝග කර තිබේ.

මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිව්.ඒ. පබසරා ගුණසිංහ මහත්මිය මරණයට හේතුව සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කර ඇත්තේ තරුණ වයසේ පුද්ගලයකු වුවද මියගිය අයගේ මොළයේ තත්ත්වය වයස අවුරුදු 75ක පමණ පුද්ගලයකුගේ මොළයේ තත්ත්වයට සමාන ලෙස දැඩි ලෙස දුර්වල වී තිබූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!