29 C
Galle

අම්බලන්ගොඩ පෙරහැරට පොලිස් අවසර නෑ, සංවිධායකයෝ අධිකරණයට යති

Published:

අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළ අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ තීරණයට එරෙහිව මෝදර දේවාල පෙරහැර සංවිධායක කමිටුව විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම සැප්තැම්බර් 17 වැනිදා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ 1944 වසරේ සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම ඓතිහාසික පෙරහැර මෙවර ඔක්තෝබර් 1 සහ 2 යන දෙදින පැවැත්වීමට සංවිධානය කර තිබූ බවයි. පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය අවසර අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අම්බලන්ගොඩ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවලින් ලබාගෙන තිබූ බවද පෙත්සමේ සඳහන් කර ඇත.

එසේ තිබියදී පෙරහැර පැවැත්වීම සඳහා පොලිස් අවසර ලබාදිය නොහැකි බව අම්බලන්ගොඩ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.ඒ.ඩබ්ලිව්.එස්. රණවීර මහතා ලිපියක් මඟින් පෙරහැර සංවිධායකයන් වෙත දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරියා සිය තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෝදර දේවාලයේ කපු තනතුර සම්බන්ධයෙන් බළපිටිය දිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතීමයි. එම නඩුව හේතුවෙන් පෙරහැර පැවැත්වීමට පෙර අධිකරණයෙන් අවසර ලබාගත යුතු බව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

කෙසේ වෙතත්, පෙරහැර පැවැත්වීම තහනම් කරමින් බළපිටිය දිසා අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. එමෙන්ම ආගමික පෙරහැරක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් වෙනම අවසරයක් ලබාගත යුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවද ඔවුන්ගේ පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය නීතියට පටහැනි බව පවසමින් එය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව සහ අනෙකුත් පොලිස් සහය ලබාදීමට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ. වගඋත්තරකරුවන් ලෙස අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙරහැර සම්බන්ධයෙන් මීට පෙරත් ආරක්ෂක ගැටලු

මෝදර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් මෙවර මතු වී ඇති නීතිමය ගැටලුවට පෙරද ආරක්ෂාව පිළිබඳ ගැටලු වාර්තා වී තිබිණි.

2026 අගෝස්තු මාසයේදී මෝදර දේවාලයේ 83 වැනි ඇසළ පෙරහැර සංවිධානය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින බව කියන ගැටුමක් හේතුවෙන් සංවිධායකයන්ට තර්ජන එල්ල වූ බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම තත්ත්වය හේතුවෙන් පෙරහැර සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට එවකට සංවිධායකයන් තීරණය කළ බවද වාර්තා විය.

එම වාර්තා අනුව පෙරහැර කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකුට දුරකථන ඔස්සේ තර්ජන එල්ල වී ඇති බවත්, ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඇතැම් සංවිධායකයන් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බවත් සඳහන් විය.

මීට අමතරව, මෝදර දේවාලයේ හිටපු කමිටු සභාපතිවරයකු 2025 නොවැම්බර් 4 වැනිදා අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.

මේ වන විට මෝදර දේවාල පෙරහැර සම්බන්ධයෙන් ගැටලුව නීතිමය අදියරකට පැමිණ තිබේ. පෙරහැර පැවැත්වීමට පොලිස් අවසර ලබා නොදීමේ තීරණය නීත්‍යනුකූලද, පවතින දිසා අධිකරණ නඩුව හේතුවෙන් පෙරහැර පැවැත්වීම සඳහා වෙනම අධිකරණ අවසරයක් අවශ්‍යද යන්න ඇතුළු කරුණු අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේදී සලකා බැලීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!