නේපාලයේ හිම්ලුං හිමාල් කඳු මුදුනේ කඳවුරකට දැවැන්ත හිම කඳුවැටියක් කඩා වැටීමෙන් සිව්දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාම නේපාල ජාතිකයන් වන අතර, විදේශීය කඳු නගින්නන් පැමිණීමට පෙර කඳවුර සකස් කිරීම සහ කඳු මාර්ගයේ කඹ සවි කිරීම සඳහා ඔවුන් ඉදිරියෙන් යවා තිබූ පිරිසක් මෙලෙස අනතුරට පත්වී ඇත.
අඩි 23,380ක් පමණ (මීටර් 7,126ක්) උසින් පිහිටි හිම්ලුං හිමාල් කන්දේ පාදමට ඉරිදා උදෑසන හිම කන්ද කඩා වැටී තිබේ. පසුගිය දිනවල එම ප්‍රදේශයට දැඩි හිමපතනයක් සිදුව තිබීමත්, අයහපත් කාලගුණයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් දැඩි අසීරුතාවකට පත්ව ඇත.
නේපාල ජාතික කඳු මාර්ගෝපදේශක සංගමය විසින් යවා තිබූ ගලවා ගැනීමේ කණ්ඩායම දැඩි අවදානමක් මධ්‍යයේ මෙහෙයුම් සිදුකර ඉරිදා මළ සිරුරු දෙකක්ද, සඳුදා තවත් දෙකක්ද සොයාගෙන තිබේ. හිම තට්ටුව අඩි 14ක් පමණ ගැඹුරට පැතිරී ඇති අතර, තද සීතල සහ තවදුරටත් අස්ථාවර හිම තත්ත්වය හේතුවෙන් සෙවීම් කටයුතු ද ඉතා අනතුරුදායක වී ඇත.
විදේශීය කඳු නගින්නන්ගේ සරත් කාලීන ගවේෂණ සමය ආරම්භ වීමට පෙර නේපාල ජාතික කඳු නගින්නන් සහ සහායක කාර්ය මණ්ඩලය කඳවුරු සකස් කිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් තාවකාලිකව සීමා කර ඇති අතර, තත්ත්වය ආරක්ෂිත වූ විට අතුරුදන් වූ පිරිස සෙවීම යළි තීව්‍ර කිරීමට නියමිතය.
නේපාලයේ කඳුකර ප්‍රදේශවල පසුගිය දිනවල පැවති අධික වැසි සහ හිමපතනය හේතුවෙන් කඳු නැගීමේ කටයුතු සඳහාද බරපතළ අවදානම් තත්ත්වයක් ඇතිව තිබේ. මේ සතියේ මනස්ලු කන්දෙන්ද කඳු නගින්නන් ඉවත් කිරීමට සිදුව තිබුණේ හිම කඳු කඩා වැටීමේ අවදානම ඉහළ යාම හේතුවෙනි.



