26.7 C
Galle

තවමත් පාසල් යන, වැටුප පාසලට දෙන 85 වියැති ගුරු මාතාව

Published:

කුඩා කල තම මවගේ ඇඟිලේ එල්ලී ඇය සෙමෙන් සෙමෙන් කන්‍යාරාමයට පිය මැන්නාය. ඒ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමටය. අද පුංචි ඉස්කෝලේ යනුවෙන් හැඳින්වෙන එදා Baby class වෙත ගොස් තම පාසල් අධ්‍යාපනය ඇය ආරම්භ කළාය.

මව ඉගෙනුම ලැබූ කන්‍යාරාමයේ ම අධ්‍යාපනයට එලෙස ආ ඇය දැන් 85 වැනි වියේ පසුවුව ද තවමත් පාසල් යයි. එදා සිට අද දක්වාම ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම වෙනුවෙන් ම තම ජීවිත කාලයම කැපකරමින් උපයන ධනයත් වැය කළ ඇය එලිසබෙත් සේනානායකය.

ඇය නිල වශයෙන් ගුරු දිවියෙන් විශ්‍රාම ලැබුව ද තවමත් පාසලෙන් විශ්‍රාම ලබා නැත. තමන්ට රජයෙන් පිරිනමන විශ්‍රාම වැටපු පවා සෑම මාසයකම පාසල වෙනුවෙන් වියදම් කරන ඇය අවිවාහකව සිිටිය ද ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ සියලු දියණිවරුන්ගේ ආදරණීය මාතාව වූවාය.

1936 මැයි මස 03 වැනි දින සේරා පණ්ඩිතරත්න මවගේ කුසින් ඇල්ෆ්‍රඩ් ඩැනියෙල් සේනානානයක මහතාට දාව පවුලේ වැඩිමල් දරුවා ලෙස උපත ලැබූ ඇයට බාල සහෝදරියන් 05 දෙනෙක් සහ බාල සහෝදරයෝ 05 දෙනෙක් සිටිති.

“ අපි ඉස්කෝලේ ගියේ රික්ෂෝවල ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි සියලුම ඉගැන්වීම් කෙරුණේ. සිංහල භාෂාවත් ඉගැන්නුවා. ළමයින්ට තමන්ගේ ආගම් ඉගෙන ගන්න අවස්ථාව තිබුණා. කන්‍යාසොයුරියන් තමයි පාසල පාලනය කළේ.”

ඇය පාසල් යන කාලයේ දැල්පන්දු සහ මේස පන්දු ක්‍රීඩාවට සුවිශේෂී දක්ෂතා දැක්වූවාය. මේ නිසාම විද්‍යාලයීය ක්‍රීඩා නායිකාව ද වූයේ ඇයයි. අධ්‍යාාපනයෙන් ද විශිෂ්ඨ කුසලතා දැක්වූ එලිසබෙත් ශිෂ්‍යාව ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගය හොඳින් සමත්වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිකරගත්තාය. එහි දී සිංහල, ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව හැදෑරූ ඇගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාව උදාවන්නේ ඉන් අනතුරුවය.

“විශ්වවිද්‍යාලයේ උපාධිය ඉවරවෙන කොට සිස්ටර් ඒඩ්රියන් මට ලියුමක් ලියලා එවල තිබුණා ඉස්කෝලේ උගන්වන්න එන්න කියලා. ඉතින් මම ඒ ආරාධනය පිළිගත්තා. ඉතින් එදා ආවට පස්සේ දිගමට හිටියේ මේ ඉස්කෝලේ. ආයෙත් වෙනත් තැනක් ගැන හිතුවේ නැහැ.”

උපාධිය ලබාගත් අවස්ථාව

එදා එලෙස ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය තම ජීවිත කාලයම පාසල වෙනුවෙන් කැප කළාය.

“මම අපේ ඉස්කෝලේ උගන්වන්න එනකොට ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවෙනුත් ඉගැන්වීම් කරනවා. ප්‍රජාචාරය, භූගෝලය, ඉතිහාසය වගේ විෂයයන් මම භාෂා දෙකෙන්ම ඉගැන්නුවා. ඒ කාලේ පාසල පාලනය වුණේ පල්ලියෙන් නමුත් කාලයක් යනවිට නඩත්තුව අමාරු වුණා වැටුප් ගෙවාගැනීම අපහසු නිසා ඇතැම් ගුරුවරු ඉවත්වෙලා ගියා. අවසානයේ පල්ලියෙන් තීරණය කළා මේ පාසල රජයට දෙන්න. පාසල රජයට දුන් අවස්ථාවේ අපිට රජයේ ගුරු පත්වීම් ලැබුණා.”

එලිසබෙත් ගුරු මාතාව පවසන්නේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉතා දීර්ඝකාලයක් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය සමඟ පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කළ අවදිය ඉතාමත් සුන්දර මතකයක් බවයි.

“සිස්ටර් රොසිනා හරිම කැපවීමකින් කටයුතු කළා. මම පාසලේ ඉගෙන ගන්න කාලේ නාසරත් නිවාසයේ හිටියේ. සිස්ටර් ගුරුවරියක් හැටියට ඉන්න කාලේ කැරිටාස් හවුස් එකේ. මම ගුරුවරියක් වුණාමත් භාරගත්තේ නාසරත් ඉතින් අපි දෙන්නා ක්‍රීඩා කටයුතුවලට බොරුවට රණ්ඩුවෙනවා. හරිම විනෝදයෙන්, ඒ වගේම වගකීමකින් අපි මේ දරුවන් ගැන සොයා බලමින් ඉගැන්නුවා. ඔවුන් විෂය බාහිර කටයුතුවලට යොමු කළා. මගේ ජීවිතය ගැන ආපසු හැරී බලනවිට සතුටුවෙන්න පුළුවන්. සියලු දියණිවරු මගේම දරුවන් වගේ”

ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ දැරියන් දහස් ගණනකගේ නම් ගම් ඇතුළු සියළු තොරතුරු ඇයට තවමත් මතකය. ඔවුන් සිටිනා තැන, කරන රැකියාව, ඔවුන්ගේ සැමියන් හා දරුවන් ගැන ද විස්තර ඇය දනී. මේ ගුරුමාතාව ඒ තරමට ම පාසල හා බද්ධවී සිටින අතරම දරුවන්ගේ හදවත් දිනා සිටින්නීය.

පාසලේ ඉගෙනුම ලබන කාලයේ දී ම බාලදක්ෂිකාවක වූ ඇය පාසලේ උගන්වන කාලයේ දී ද බාලදක්ෂිකා ව්‍යාපාරය පවත්වාගෙන ගියාය. ඇය ජීවත්වන නිවස කේන්ද්‍ර කරගනිමින් එම ඉඩමේ බාලදක්ෂ කඳවුරු පවා සංවිධානය කරන ඇය දකුණු පළාත් බාලදක්ෂිකා කොමසාරිස් වරියක මෙන්ම ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා කොමසාරිස්වරියක ද වී බාලදක්ෂිකාවන් වෙනුවෙන් කරන ලද සේවය හේතුවෙන් ඇය ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් පිරිනමන ඉහළම සම්මානය වූ “හංසපූට්ටුව සම්මානයෙන්” ද පිදුම් ලැබුවාය.

එලිසබෙත් සේනානායක මහත්මිය ශ්‍රී හෘදය කන්‍යාර‍ාමයේ ඉගෙනුම ලැබුව ද ඇය ඇදහූ ආගම වූයේ බුද්ධ ධර්මයයි. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද වූ ඇය ආගමික කටයුතු පිළිබඳ මෙසේ කීවාය.

“අපේ ඉස්කෝලේ කොන්වන්ට් එකක් නිසා සමහරු හිතනවා ආගමේ ඉස්කෝලයක් වෙන්න ඇති කියලා. විදුහල්පතිනිය සිස්ටර් කෙනෙක්. නමුත් නියෝජ්‍ය විදුහල්පති හැටියට හිටපු මම බුද්ධාගමේ. ඉස්ලාම් ළමයි හින්දු ළමයි හිටියා. අපි පාසලේ නත්තල්, පාස්කු වගේ දේවල් සමරනවා වගේම පිරිත් කියනවා, දාන දෙනවා, තෛපොංගල් සමරනවා, නබි තුමාගේ උපන්දිනය සමරනවා. හරිම සමගියකින් ළමයි හැමෝම ගුරුවරු එක්ක එකතුවෙලා මේවා කළා. මේ කාලය හරිම සුන්දරයි.”

බාලදක්ෂිකා වැඩසටහනක දී

ගරුවරියක හා නියෝජ්‍ය විදුහල්පතිනියක වූ ඇයට වරක් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයක් ලැබී තිබිණි.

“මාව ඉස්කෝලෙන් එළියට අදින්න අධ්‍යක්ෂ ධූරයක් දුන්නා. මම කිව්වා ඒක භාරගන්න බෑ කියලා. මම උසස්වීම් ගත්තේ නැහැ.”

ඇය තවමත් සෑම සතියකම ඉඩ ලැබෙන සෑම මොහොතකම තමන් ඉගෙනුම ලැබූ ඉගැන්වූ පාසලට යන්නේ මහත් වුවමනාවෙනි. වසර 85ක් වූ ජීවිතයෙන් පළමු අවුරුදු 05ත් විශ්වවිද්‍යාලයේ ගත කළ වසර 03ත් හැර අන් සෑම කාලයක් ම ඇය ගත කළේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේය.

ශ්‍රී හෘදය කන්‍යාරාම විදයාලය මෙම වර්ෂයේ දී වසර 125ක් සම්පූර්ණ කරයි. මේ අතීතයෙන් දශක අටක පමණ ඉතිහාසයක සජීවී අත්දැකීම් ඇති එලිසබෙත් ගුරුමාතාව විදුහල වෙනුවෙන් කෞතුකාගාරයක් ද ඉදිකළාය.

(සිරංගිකා ලොකුකරවිට)

Related articles

Recent articles

error: Content is protected !!