26.7 C
Galle

දරුවා පාසල් යවනවානම් මේ ගැනත් සිතන්න

Published:

දැන් කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වී තිබේ. විද්‍යාත්මක විශ්ලේෂණයන්, සෞඛ්‍ය තොරතුරු හා රටේ සමාජයීය හැසිරීම පිළිබඳ නිරන්තර අවබෝධයකින් කටයුතු කරන rata.lk අපි කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවිය හැකි බවත් එය පළමු හා දෙවැනි රැල්ලට වඩා අතිශය දරුණු විය හැකි බවත් කීවේ අද ඊයේ නොවේ. ආරම්භයේ සිටම මේ පිළබඳ අපි අතුරු ඇඟවූවෙමු.

වයිරස වේගයෙන් වෙනස් වෙමින් මිනිස් වර්ගයාට විනාශ්‍ය කැඳවන ආකාරයත් අපි විද්‍යාත්මක ලිපි මගින් හෙළි කළෙමු. නමුත් කොරෝනා පළමු රැල්ල අතිශය සාර්ථකව මර්ධනය කරගත් අපි රට නොවසා දෙවැනි රැල්ලට මුහුණ දෙද්දී අපි කීවේ දෙවනුව කරන්න තියෙන වැඩේ පසුව කළ බවයි. ලොව සුපිරි කාටූන් චරිතවල සිටින සුපර් මෑන්ලා, බැට් මෑන්ලා කලිසම ඇඳ ඊට උඩින් යට කලිසම අඳින්නාක් සේ අපි වැඩකරන බව පෙන්වා දුන්නෙමු.

දැන් සිදුව ඇත්තේ මෙතෙක් සමාජගත නොවූබවත්, හැම රෝගියකුම මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරේ බව කියූ රටක කොරෝනා හැදුණේ කොතැනින්දැයි කීමටවත් නොදන්නා තරමට ම රෝගීන් හමුවීමයි.

දැන් තත්ත්වය වඩාත් දරුණු වී ඇත. ඉන්දියාවේ මහමඟ මිනිසුන් මියැදෙති. රෝහල් පිරී ඉතිරී ගොසිනි. අමු සොහොනක් බවට පත්වූ ඉන්දියාවේ මියගිය තම ඥාතියාගේ සිරුර පුළුස්සා දැමීමට නොහැකිව ඉතිරිව සිටින්නෝ හඬා වැටෙති. ඒ හඬන අතරම කොරෝනා නිසාම මියැදෙති.

අපි ඒ ආසන්නයට වේගයෙන් ගමන් කරමින් සිටින්නෙමු. සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. දිනකට 1000කට ආසන්න කොරෝනා ආසාදිතයන් හමුවන්නේ PCR පරීක්ෂණ 5000-6000ත් අතර ප්‍රමාණයක් සිදුකරන බැවිනි. පීසීආර් පරීක්ෂණ 15,000කට වඩා දිනකට කරගන්නට නොහැකි රටක අපි ජීවත් වන්නෙමු.

වෛද්‍ය අංශ දැන් පවසන්නේ පෙර මෙන් උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උගුරේ වේදනාව යන රෝග ලක්ෂණ නැතිව කොරෝනා ආසාදිතයන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවන බවයි. එනම් පෙනහැලි ආසාදනය වන බවයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. එමෙන්ම වයස්ගත පුද්ගලයන් නොව තරුණ තරුණියෝ ද මේ රෝගයට දැන් ගොදුරු වී අසාධ්‍ය වන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියක වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන වයිරසය කවර ප්‍රභේදයක් දැයි තවමත් හඳුනාගෙන නැත. නමුත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව නම් දනී.

මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ සියලුම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ඉතිරී ගොසිනි. ඒවායේ ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල දැන් අවසන් බව පවසන්නේ ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් පාසල් දරුවෝ බව කියන්නේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති රුහුණ විශ්වවිද්‍යාල‍යේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති වරයාය. එම වෙද්‍යෙවරුන්ගේ විද්‍යායතනය මගින් අද උදෑසන ඉල්ලීමක් කර තිබිණි. එනම් පාසල් සියල්ල වසා දමන ලෙසයි. එය සාධාරණ ඉල්ලීමකි. මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකින්ම පොකුරු පොකුරු කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී පාසල් දරුවන් අනාරක්ෂිත නොරකන ලෙසත් ජනගහණයෙන් 25% නිවෙස්වල තැබූ විට මේ වසංගතය පාලනය කිරීම පහසු බවත් ඔහු කීවේය.

නමුත් එය සිදුවූයේ නැත. පාසල් නිවාඩු දුන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වල පමණි. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේත්, මොණරාගලත් පාසල් කිහිපයකුත් වසා දමා තිබේ. අනෙක් සියල්ල විවෘතය.

කොරෝනා මර්ධනය කිරී‍මේ බලය දරන බලධාරීන් පාසල් සිසුන්ට සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම පහසු යැයි සිතනවා විය යුතුය. ඒ නිසා ඔවුන් පාසල් ගෙන්වා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටම නොදන්නා විශ්වවිද්‍යාල සිසුන් නිවෙස්වල තබා ඇත. එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට නොදන්නා රාජ්‍ය සේවකයෝ ද කාර්යාලවලට ගෙන්වීම අවම කිරීමට හෙට චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය. පාසල් සිසුන්ට මේ සියල්ල හැකි බැවින් ඔවුන් පාසල් පැමිණියාට ගැටලුවක් නැත.

නමුත් මේ වනවිට දිවයිනේ පාසල් සිය ගණනකින් කොරෝනා ආසාදිත වූ දරුවන්, ගුරුවර ගුරුවරියන් සහ දෙමාපියෝ වාර්තා වී සිටිති. එවන් පසුබිමක් තුළ පළාත් දෙකක හැර අනෙක් පළාත් සියල්ලේම පාසල් විවෘතව තිබේ.

දැන් ඔබ ඔබේ දරුවා පාසල් යැවිය යුතුය. පළමුව මේ ගැන සිතන්න

පැතිරෙමින් පවතින මෙතෙක් නිශ්චිතව හඳුනා නොගත් නව කොරෝනා වෙනදා මෙන් නොව දැන් වාතයෙන් බෝවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. එමෙන්ම වේගයෙන් ව්‍යාප්ත වේ. වෙනදා මෙන් උගුරේ වේදනාව, උණ වැනි රෝග ලක්ෂණ නොපෙන්වාම වයිරසය පෙනහළුවලට හානිකරයි. ඉන් පසු නිව්මෝනියාව වැළඳෙන තුරු කොරෝනා ආසාදිත බව දන්නේ නැත. රෝහලට යන්න සිදුවන්නේ ම ශ්වසන අවශ්‍යතා ඇති රෝගියකු ලෙසිනි. අද සවස්වන විට මුල්ලේරියාව මූලික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර තිබුණේ  80ක් පමණි. නමුත් දෛනික අවශ්‍යතාව 120කි. කිසිදු ICU ඇඳක් ඉතිරිව නැත. දැනමටත් රොහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබේ. කොරෝනා සඳහා සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණ 6000කට අඩුවෙන් දෛනිකව සිදුකරන බැවින් හමුවන රෝගීන් ද අඩු අගයක් ගත්තද මෙරට පීසීආර් පරීක්ෂණ 100ක් කළ විට රෝගීන් 17% වඩා හමුවීමේ ප්‍රතිශතයක් තිබේ.

මේ තරම් රෝගීන් වාර්තා වුවහොත් ජීවත්වීමේ දැඩි අරගලයක යෙදෙන්නට ඔබට මට තනිවම සිදුවනු ඇත.

මේ සති අන්තයේ සහ පොහොය දිනයේ දී ද සංචරණය සීමා කරන්න යැයි කොතෙක් උපදෙස් දී තිබුණ ද කතරගම පුද බිම අද දහස් ගණනකගෙන් පිරී ගොස් තිබිණි. ඔවුන් අතර කොරෝනා සඳහා වූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතයක් ද දක්නට ලබුණේ නැත. කොරෝනා වසංගතය වැඩි වෙද්දී ඊයේ  (25) නුවරඑළිය නගරාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ග්‍රෙගරි වැව අසළ නීති විරෝධී අවුරුදු උත්සයක් ද සංවිධානය කෙරිණි.

මේ තරමට නොහික්මුණු ජනතාවක් සිටින රටක ඔබේ දරුවා ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ඔබටම පමණි.

ඒ නිසා දරුවන්ට උපදෙස් දෙන්න. නිරන්තරව අත් ‍සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා පිරිසිදු කරගන්නා ලෙස. කිසිම හේතුවකට මුඛ ආවරණ මුහුණු ආවරණ ඉවත් නොකරන ලෙස. කොතරම් මිතුරකු වුවත් වෙනත් කිසිම අයකු සමඟ ආහාර ද්‍රව්‍ය පමණක් නොව පොත් පත් ද හුවමාරු කර නොගන්නා ලෙස.

එසේ උපදෙස් නොදුනහොත්, ඔබත් එලෙසම ආරක්ෂා නොවුනහොත් ඔබටත් ඔබේ දරුවාටත් තව නොබෝ දිනයකින් ඉන්දියාවේ දර්ශන මෙරට දී  ම දැකගත හැකිවනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!