ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් 23 දෙනකුට මරු කැඳවමින් සහ 60 දෙනකුට තුවාල සිදුකරමින් බස් රථයක් පෙරැළීයාමේ සිද්ධියට එම බසයේ රියදුරා සහ තවත් පිරිසක් වගකිව යුතු බව එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
පසුගිය 11 වැනි දා කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ NC-1144 අංක දරණ බස් රථ එදින අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.
කතරගම ඩිපෝවට අයත් මෙම බසයේ රියදුරා ලෙස සේවය කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. අනතුරින් ඔහු ද ජීවිතක්ෂයට පත්වූයේ ය.
එම අනතුර සම්බන්ධයෙන් පත්කළ පරීක්ෂණ මණ්ඩලයට 06 දෙනකු සිටි අතර ඔවුන් කරන ලද විමර්ශන වාර්තාව මේ වනවිට එළිදක්වා තිබේ.
එම විමර්ශනයේ දී පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම නීත්‍යානුකූලභාවය පිළිබඳව ද සොයා බලා තිබූ අතර අනතුරට ලක් වූ බස් රථයේ කොටස් ද පරීක්ෂා කර තිබිණි.
දුර ධාවනයේ දී පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයක විවේකයක් රියදුරා විසින් ලබාගත යුතුයැයි නිර්දේශයක් ඇතත් මෙම රියදුරා වැලිමඩ ප්‍රදේශයේ දී විවේක ගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවයි. අනතුර සිදුවන අවස්ථාව වනවිට එම රියදුරා පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව බසය ධාවනය කර ඇති බව ද අනාවරණය වී තිබේ.
ඒ අනුව රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බවත් නමුත් අනතුරට හේතු වූ සියලු කරුණු සඳහා රියදුරා තනිව වගකිවයුතු නොවන බවත් පරීක්ෂණ මණ්ඩලය පවසයි.


