27.9 C
Galle

සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී

Published:

“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා ඉක්මණට රෝහලට ගෙනාවනම් දරුවා බේරාගන්න තිබුණා කියලා.” යැයි බෝතල් මූඩියක් උගුරේ සිර වීමෙන් පසු මියගිය මාස 09ක් වයසැති පිරිමි දරුවකුගේ මරණයේ දී සාක්ෂි දුන් ඔහුගේ මව කීවාය.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව, ගොඩවත්ත, මිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුගම ලියන කංකානම්ගේ ලුෂේන් ආදිව් නමැති දරුවෙකි.

මෙම දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 06 වැනි දා හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.

මියගිය දරුවාගේ මව මෝදර ආචාරිගේ දිල්කි යසාරා හංසිනී (22) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ ද කීවාය.

“පසුගිය 05 වැනි දා සවස 2.30ට පමණ මමත් දරුවාත් ගෙදර හිටියේ මහත්තයා රෙස්ටුරන්ට් එකේ වැඩට ගිහින් තිබුණා. මහත්තයාගේ තාත්තා ගෙදර එහා පැත්තේ ගඩොල් කපමින් හිටියා. මමත් පුතාත් ඇඳ උඩ හිටියේ. ළමයා ඇඳෙන් බැස්සා. වටේ තියන බඩු අල්ලමින් එයා කණ්ණාඩි මේසේ ළඟට ගියා. මම බෙහෙත් ටික ගන්න සාලයට ගන්න ගියා. යන අතරේ පස්ස හැරිලා බැලුවා. බලන විට මොනවා හරි කටට මොනවාදෝ දාගෙන කියලා දැක්කා. මම ළඟට ඇවිත් බැලුවාම දැක්කා කණ්ණාඩි මේසේ උඩ තිබුණු සෙන්ට් කුප්පියේ මූඩිය කට ඇතුළේ තියෙනවා. මම අත දාලා ගන්න හැදුවා. පිටටත් තට්ටු කළා. ළමයාට කැස්සකුත් ආවා. එහෙම ම මූඩිය ඇතුලට ගියා වගේ මට දැණුනා. මම තාත්තාට කෑ ගහලා කතා කළා. එයත් දුවගෙන ආවා. පස්සේ උඩ ගෙදර අයියා මාවත් ළමයත් බයිසිකලේ තියාගෙන නාරිගම පුද්ගලික ඩිස්පෙන්සරියකට එක්කරගෙන ගියා. එතනින් මූඩිය ඉවත් කළා. ඒ අය කිව්වා ඉක්මනට රෝහලකට අරගෙන යන්න කියලා අපි ඒ වෙලාවේ 1990 ගිලන්රථයකට කතා කළා. පැය භාගයකින් විතර එයාලා ඇවිත් කිව්වා ඩිස්පෙන්සරියක ඉදලා රෝගීන් අරගෙන යන්න එයාලට බෑ කියලා. ඒකට වෙනම අවසර ගන්න ඕන කියලා. ඒ නිසා වෙනත් වාහනයක් කතා කරගෙන එතැන හිටපු වෛද්‍යවරයෙක් සහ හෙදියක් සමඟ පුතාට ඔක්සිජන් දෙමින් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආවා.  කරාපිටියට රැගෙන එන කොට දරුවාට සිහිය තිබුණේ නෑ. ඒ වෙලාවෙම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. රෝහලෙන් ඉක්මනට ප්‍රතිකාර කළා. ඒත් පසුව දා (06) උදේ 8.15ට විතර ළමයා නැති වුණා. ඉක්මණට ගෙනාවනම් දරුවාගේ ජීවිතය බේරගන්න තිබුණා කියලා වෛද්‍යවරු කිව්වා.” 

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ලියාපදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරිනී එම්.මධුවන්ති ජයසිංහ මහත්මියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සිදුව ඇත්තේ සෙන්ට් කුප්පියේ පියන හේතුවෙන් හුස්ම හිරවීමෙන් බව නිගමනය කළේය.

Related articles

Recent articles

error: Content is protected !!