24.5 C
Galle

පොලිසියට චණ්ඩිකම් පෙන්වූ කත, රිමාන්ඩ්

Published:

උසස් පොලිස් නිලධාරියකුගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක ලබන 03 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

ඇය පදවාගෙන ගිය වාහනය මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නතර කරන්න යැයි පොලිස් නිලධාරන් අණ දුන්න ද ඇය එම අණ නොතකා ධාවනය කර තිබිණි. පසුව එම රථය හඹා ගිය පොලිසිය උඩුගම්පොළ ප්‍රදේශයේ දී රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ ගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඇය, උසස් පොලිස් නිලධාරියකුගේ නම කියමින් තමන් ඔහුගේ නැගණිය බව ප්‍රකාශ කරමින් පොලිස් රාජකාරියට බාධා කර ඇත. එම දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතී.

එම අවස්ථාවේ දී ද ඇය පොලිස් අණ නොපිළිපදිමින් නැවත වාහනයේ නැගී පළායාමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී අවට සිටි සිවිල් වැසියන් ද ඇය නතර කිරීමට උත්සාහ ගත්ත ද එය එම ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.

නමුත්, පොලිසිය නැවත ඇය නතර කර අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ ඇය තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නැගණිය බව කීව ද එවැනි සම්බන්ධයක් ඇයට නොමැති බවයි.

ඒ අනුව, අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, පොලිස් රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියකුගේ නැගණියකයැයි කියමින් අන් අයකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ඇය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!