ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කටුගොඩ ප්‍රදේශයෙන් අද (31) කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී තිබේ.
මෙම 05 දෙනා අතර වයස මාස 10ක කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ තිදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර ද එම පවුලෙන් ආසාදිතයන් 03 දෙනකු හඳුනාගෙන තිබිණි. ඒ අනුව එකම පවුලේ සාමාජික සාමාජිකාවන් 06 දෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදනය වී සිටිති.
අනෙක් දෙදෙනාගෙන් එක් අයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව සිටි රෝගියකුගේ සාත්තුවට සිටි අයෙක් බවයි. කොරෝනා ආසාදිත බව අද වාර්තාවූ අක්මීමණ පදිචි අනෙක් පුද්ගලයා කොළඹ වරාය සේවකයෙකි.
සෞඛ්‍ය අංශ පවසන්නේ එම පවුලේ අයට කොරෝනා වයිරසය පැමිණි ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් නොමැති බවයි. කෙසේ වෙතත් එම පවුලෙන් මුළින්ම හඳුනාගත් ආසාදිත පුද්ගලයා මිරිස්සෙන් මාළු ගෙනවිත් වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයකු බව ද අනාවරණය වී තිබේ. මේ වනවිට ඔහුට අමතරව ඔහුගේ බිරිඳට, දියණියන් දෙදෙනාට, පුතකුට හා එක් දියණියකගේ මාස 10ක් වයසැති දරුවාට කොරෝනා ආසාදනය වී තිබේ.
ඔවුන්ට කොරෝනා ආසාදනය වීම පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් නොමැති බැවින් දැනට විශ්වාස කළ හැකි එකම සාධකය වන්නේ මිරිස්ස ධීවර වරායෙන් කොරෝනා ආසාදනය වන්නට ඇති බවයි. එය එසේනම් මේ වනවිට ධීවර වරාය ආශ්‍රිතව කෙරෝනා නැතැයි සෞඛ්‍ය අංශ පවසන මතය අභියෝගයට ලක්වෙයි. නොඑසේනම් මෙම පවුලේ සාමාජික සාමාජිකාවන්ට කොරෝනා ආසාදනය වූ ආකාරය වෙනම සොයා බැලිය යුතුව ඇත.
මේ වනවිට අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.


