ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන අතර, අපරාධකරුවෝ දඬුවම් නොලබා නිදැල්ලේ පසුවෙති. ‘දණ්ඩමුක්තිය‘ යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.
ලොව පුරා ජනමාධ්‍යවේදීන් එක්ව සෑම වසරකම නොවැම්බර් 2 වැනිදා ‘ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනය‘ සමරන්නේ, මෙම අවාසනාවන්ත තත්ත්වය අවසන් කරන ලෙස රාජ්‍යයන්ට බල කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් ජන මතයක් ගොඩනැගීම උදෙසාය.
ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ දණ්ඩමුක්තිය සම්බන්ධයෙන් ඉතා අපකීර්තිමත් වාර්තාවක් හිමි රටකි. මේ තත්ත්වය වෙනස් කර ගැනීම උදෙසා ජනමාධ්‍ය සංවිධාන, අනෙකුත් සිවිල් සංවිධාන හා දැනුම්වත් පුරවැසියන් දිගු කලක පටන් හඬ නගමින් සිටින නමුත් යහපත් වෙනසක් සිදු කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.
1980 දශකයේ සිටම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් රැසක් පැහැරගෙන යෑමට, ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්ව තිබේ. පසුගියදා ජනතා අරගලය හමුවේ බලය හැර යෑමට සිදු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කළ සහ ඔහුගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දැරූ 2005-2010 කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනමාධ්‍යයට එරෙහි භයානකම අවධිය විය.
එම වකවානුව තුළ, උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ (JDS) සංවිධානය සිදු කළ අධ්‍යයනයකින් හෙළි කෙරිණි.
ඉන් බහුතරයක් සිදුවීම් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට අයත්ය. මීට අමතරව ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් තර්ජනවලට, පහරදීමට, අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබාගැනීමට ලක් කෙරිණි. යාපනයේ උදයන් පුවත්පත් ආයතනය, සන්ඩේ ලීඩර්, ලංකා ඊ නිව්ස්, සිරස, සියත ආදී මාධ්‍ය ආයතන වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර හා ගිනිතැබීම්වලට ලක් විය.
එම වකවානුව තුළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ අතුරින් දණ්ඩ මුක්තියට අදාළව තෝරාගත් සිදුවීම් තිහක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, එයින් එකම සිදුවීමක් සම්බන්ධයෙන් හෝ යුක්තිය ඉටු කිරීමට රජය මේ වන තෙක් අසමත්ව ඇති බවයි. එම අපරාධ අතුරින් අධිචෝදනා ගොනු කිරීමේ අදියර දක්වා ඉදිරියට ගොස් ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම යන සිදුවීම් දෙක සම්බන්ධයෙන් පමණක් වන අතර, ඒ සිදුවීම් දෙකට ම රජයේ ආරක්ෂක අංශ සෘජුවම සම්බන්ධ බව හෙළි විය.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවට, ජාතිවාදී භික්ෂූන් හා ආරක්ෂක අංශවලින් දිගින් දිගට ම බාධා එල්ල වූ අතර, අධිකරණ ශාලාවට කඩාවැදී එම නඩුවට බලපෑම් කිරීම හා සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ භික්ෂුවට ජනාධිපති සමාව පිරිනැමිණි. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනාවට ලක්ව සිටින යුද හමුදා නිලධාරීන් නව දෙනා සහ ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා එම චෝදනාවලින් මුදාහරින ලෙසත්, එම අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමකින් නිර්දේශ කෙරිණි. ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ කෙතරම් දුෂ්කර කටයුත්තක් වී ඇත්ද යන්න ඉහත උදාහරණවලින් හෙළි කෙරෙන බිහිසුණු යථාර්ථයයි.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ ඉහත අපරාධ සම්බන්ධයෙන් කරුණු සොයාබලා යුක්තිය ඉටු කිරීම පිණිස පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටි නමුත් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබිණි. කිසිසේත් ජනමතය නියෝජනය නොකරන විකෘති පාලනයකින් මේ මොහොතේ එබඳු ඉල්ලීමක් කිරීම නිරර්ථකය. එසේ වුව ද මාධ්‍ය නිදහස හා මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින සියලු ජාතික හා ජාත්‍යන්තර බලවේග සමග එක්ව, සිය අරගලය ඉදිරියට ගෙන යෑමට මාධ්‍ය සංවිධාන කැප වී සිටී.
ජනමාධ්‍යයට එරෙහි අපරාධ යනු, සෘජුවම පුරවැසියන්ගේ සත්‍ය දැනගැනීමේ අයිතියට එරෙහි අපරාධ වන අතර, එම අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය යනු තවදුරටත් ජනමාධ්‍ය මර්දනය කිරීම සඳහා අපරාධකරුවන්ට බලපත්‍ර ලබා දීමකි. මෙම අසාධාරණයට එරෙහි වන ලෙසත්, දණ්ඩමුක්තිය අවසන් කිරීමට සෑම අයුරකින්ම දායක වන ලෙසත් සියලු යුක්තිගරුක පුරවැසියන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය
යාපනයේ මාධ්‍ය සමාජය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
කන්තලේ ගඟතලාව එක්සත් ජනමාධ්‍ය සංගමය.


