29.8 C
Galle

දැදුරු ඔය ඛේදවාචකය, මියගිය ගණන 8ක් දක්වා ඉහලට

Published:

දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගිය පිරිසකගෙන් අතුරුදන්ව සිටි සියලු දෙනාගේම සිරුරු සොයා ගැනීමත් සමඟ එම අනතුරින් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.

පසුගිය 16 වනදා සිදුවූ මෙම අනතුරෙන් ඊයේ දිනය වන විට දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබූ අතර, අද (17) සිදුකළ මෙහෙයුම්වලදී අතුරුදන්ව සිටි අනෙක් 6 දෙනාගේම සිරුරු සොයාගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. එහිදී පුද්ගලයන් 10 දෙනෙකු දියේ ගිලී ඇති අතර, ඉන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක පමණක් බේරාගෙන නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.

මියගිය පිරිස අතර වයස අවුරුදු 9, 13 සහ 18 යන වයස්වල පසුවූ පාසල් දරුවන් තිදෙනෙකු ද සිටිති. සෙසු පිරිස වයස අවුරුදු 34 සිට 72 දක්වා වූ කොබෙයිගනේ, උඩවෙල සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා කිමිදුම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අතුරුදන්ව සිටි සියලු දෙනාගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇත.

දින හතරකදී මරණ 20ක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අප්‍රේල් 12 වනදා සිට 16 වනදා දක්වා වූ දින හතරක කාලය තුළ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල දියේ ගිලීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනාරක්ෂිත ස්ථානවල දිය නෑම, පිහිනීමට නොහැකි වීම, බීමත්ව දියට බැසීම සහ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම මෙම මරණවලට ප්‍රධාන හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. දිය නෑම සඳහා ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටින ආරක්ෂිත ස්ථාන පමණක් තෝරා ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!