බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
අද (අප්‍රේල් 17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් ඔවුන් මෙම තීරණය දැනුම් දී තිබේ.
2009 වසරේ සිට මේ දක්වා සිදුකර ඇති ගල් අඟුරු ආනයනය කිරීම්වලට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමටත්, ඒ සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) සහාය ලබා ගැනීමටත් රජය පියවර නෙ තිබිණ.
අදාළ විමර්ශනය ස්වාධීනව, අපක්ෂපාතීව සහ කිසිදු බලපෑමකින් තොරව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කුමාර ජයකොඩි මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමයක් ඇති කිරීමට ගෙන යන උත්සාහයට තමන් පූර්ණ සහාය දක්වන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. මෙම විමර්ශන හරහා සත්‍යය හෙළිවනු ඇති බවත්, එහි ඕනෑම සොයාගැනීමක් පිළිගැනීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෑතකදී තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී තමන් වෙත සහාය දැක්වූ සැමට ස්තූතිය පළ කළ ඒ මහතා, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තවදුරටත් කැපවන බව ද ප්‍රතිඥා දී තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ද ස්වාධීන විමර්ශනයකට ඉඩ සැලසීමේ එම අරමුණ ඇතිවම සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.


