රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අමානුෂික ලෙස අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ සංවේදී වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් රාගම පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී වින්දිත කාන්තාව සොයාගෙන ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පසුව ඇයව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
පොලිස් විමර්ශනවලට අනුව මෙම පහරදීමට සහ හිසකෙස් කැපීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්‍රධාන සැකකාරිය පළමුව අත්අඩංගුවට ගෙන ඇත. ඇයට අමතරව එම අවස්ථාවේදී සහාය දුන් තවත් තරුණයන් සිව්දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමළය (චීනවරාය) යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා හෙට (18) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


