ජර්මානු සංචාරක සමාගමකට අයත් ප්‍රමුඛතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන MS Amadea, සිය දින 146ක දීර්ඝ ලෝක සංචාරය අතරතුර අද (17) පෙරවරුවේ ගාල්ල වරාය ආසන්නයට පැමිණිය ද, පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් එහි සංචාරකයන්ට ගොඩබිමට ඒමේ අවස්ථාව අහිමිවී ඇතැයි වාර්තා වෙයි.
බහමාස් රාජ්‍යයේ ධජය යටතේ ලියාපදිංචි වී ඇති MS Amadea නෞකාව, ජර්මනියේ අතිශය ජනප්‍රිය “The Dream Ship” නමැති ටෙලිකතා මාලාව රූගත කරන නිල නෞකාව ලෙස ද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත. තට්ටු 8කින් සමන්විත, මීටර් 193ක් දිගැති මෙම නෞකාව මගින් 580 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 315 දෙනෙකු ඇතුළුව 895 දෙනෙකු මෙවර සංචාරයට එක්ව සිටි අතර, ඔවුන්ගෙන් බහුතරය ජර්මානු ජාතිකයන්ය.
නෞකාවෙන් පැමිණි සංචාරකයන් අද දිනයේ ගාල්ල කොටුව, හික්කඩුව, රූමස්සල, කොග්ගල සහ අහංගම යන දකුණුලක සුන්දර සංචාරක ස්ථාන නැරඹීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, මුහුද රළු වීම හේතුවෙන් නෞකාවේ සිට සංචාරකයන් ගොඩබිමට ප්‍රවාහනය කරන කුඩා බෝට්ටු හැසිරවීමට දැඩි අපහසුතාවක් මතු විය.
සංචාරකයන්ගේ ආරක්ෂාව සලකා බලා ඔවුන් ගාල්ලෙන් ගොඩබිමට රැගෙන ඒමේ සැලසුම අත්හැර දැමීමට බලධාරීන් පියවර ගත් අතර, ඒ අනුව නෞකාව නියමිත වේලාවට පෙර කොළඹ වරාය බලා පිටත්ව ගොස් තිබේ.
2025 දෙසැම්බර් මාසයේදී ජර්මනියෙන් සිය ගමන ආරම්භ කළ MS Amadea නෞකාව, මාස පහකට ආසන්න කාලයක් ලොව වටා සංචාරය කරමින් පවතී.


