29.8 C
Galle

පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි

Published:

බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි (Coventry) විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 25 හැවිරිදි නවෝද්‍යා ද සිල්වා නමැති ශ්‍රී ලාංකික සිසුවියකට, සිය පාඨමාලා ගාස්තු ගෙවීම දිනකින් ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය අහිමි වී මෙරටට පිටුවහල් කිරීමේ අවදානමකට මුහුණ දීමට සිදුව තිබේ.

ජාත්‍යන්තර සංචාරක සහ හෝටල් කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටි නවෝද්‍යා, එහි දෙවන වසර සඳහා ගෙවිය යුතු පවුම් 8,000 ක මුදල නියමිත දිනට (2025 ඔක්තෝබර් 06) පෙර, එනම් ඔක්තෝබර් 03 වනදා බැංකුව හරහා ප්‍රේෂණය කර තිබුණි. එහෙත් බැංකු පද්ධතියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් එම මුදල විශ්වවිද්‍යාල ගිණුමට බැර වී ඇත්තේ නියමිත දිනට දිනකට පසුව, එනම් ඔක්තෝබර් 07 වනදාය.

මෙම එක් දිනක ප්‍රමාදය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය, ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ උපාධි පාඨමාලාව අත්හිටුවා ඇති අතර ශිෂ්‍ය වීසා බලපත්‍රය ද අවලංගු කර තිබේ.

මෙම තෙවසරක පාඨමාලාව සඳහා වැයවන සම්පූර්ණ මුදල පවුම් 42,000ක් (රුපියල් කෝටි 1.5කට අධික) වන අතර නවෝද්‍යාගේ පියා සිය ජීවිත කාලය පුරා ඉතිරි කළ මුදල් මේ වෙනුවෙන් වැය කර තිබේ. “මම මගේ වගකීම නියමිත දිනට පෙර ඉටු කළා. බැංකු පද්ධතියේ ප්‍රමාදය මගේ පාලනයෙන් පිටත දෙයක්. උපාධියක් නැතිව, පියාගේ මුදලුත් අහිමි කරගෙන නැවත ලංකාවට ගියොත් මගේ ජීවිතයම විනාශ වෙනවා,” යැයි ඇය ඉතා සංවේදීව පවසා සිටින්නීය.

කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය පවසන්නේ තමන් බ්‍රිතාන්‍ය ආගමන විගමන නීති පිළිපැදීමට බැඳී සිටින බවත්, ගෙවීම් සඳහා සති හයක කාලයක් ලබා දී තිබූ බවත්ය. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙය සිසුවිය සහ විශ්වවිද්‍යාලය අතර පවතින ගැටලුවක් බවත්, විශ්වවිද්‍යාලය දැනුම් දීමක් කළහොත් පමණක් තමන් වීසා අවලංගු කිරීමට පියවර ගන්නා බවත්ය.

නවෝද්‍යාගේ නීතිඥ නාග කන්දයියා මහතා පෙන්වා දෙන්නේ දිනක ප්‍රමාදයක් වැනි සුළු කරුණක් මත මෙවැනි දැඩි තීරණයක් ගැනීම අසාධාරණ සහ අමානුෂික බවයි. ඇය මේ වන විට බ්‍රිතාන්‍යයේ තවදුරටත් රැඳී සිටීම සඳහා අවසර ඉල්ලා අයදුම් කර ඇති අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත් ඇයට මෙරටට පිටුවහල් වීමට සිදුවනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!