ජපානයේ ඊසානදිග වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ අද පස්වරුවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ සමස්ත ජපානයම යළිත් වරක් සුනාමි භීතියට පත්ව තිබේ. ජපාන වේලාවෙන් පස්වරු 16:52ට කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටි සැන්රිකු මුහුදු ප්‍රදේශයේ මෙම කම්පනය හටගෙන ඇත.
භූ කම්පනයත් සමඟ ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඉවටේ (Iwate) සහ හොකයිඩෝ (Hokkaido) යන ප්‍රාන්ත වෙත ප්‍රබල සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මීට අමතරව අඔමෝරි, මියාගි සහ ෆුකුෂිමා යන වෙරළබඩ ප්‍රාන්ත වෙතද සුනාමි උපදේශන (Advisories) නිකුත් කර ඇත.
ඉවටේ ප්‍රාන්තයේ මියාකෝ වරායට දැනටමත් සෙන්ටිමීටර් 40ක (අඟල් 16ක) පළමු සුනාමි රළ පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, බලධාරීන් අනතුරු අඟවන්නේ මීටර් 3ක් (අඩි 10ක්) දක්වා උසැති මාරාන්තික රළ ඉදිරියේදී පැමිණිය හැකි බවයි. ජපාන අගමැතිනී සානේ ටකයිචි මහත්මිය බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වහාම උස් බිම් කරා ඉවත් වන ලෙසයි.
භූමිකම්පාව හේතුවෙන් ජපානයේ ප්‍රවාහන සහ බලශක්ති පද්ධතියට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබේ. ටෝකියෝ අගනුවර කරා දිවෙන තොහොකු, යමගාටා සහ අකිටා යන බුලට් දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇත.
ප්‍රදේශයේ නිවාස 100කට අධික සංඛ්‍යාවක විදුලි බලය විසන්ධි වී ඇති බව කැබිනට් ලේකම් මිනොරු කිහාරා මහතා තහවුරු කළේය.
2011 ව්‍යසනයෙන් බැටකෑ ෆුකුෂිමා ඩයිචි ඇතුළු ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවල මෙතෙක් කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වී නොමැති අතර, පරීක්ෂණ අඛණ්ඩව සිදුවේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පෙන්වා දෙන්නේ ඉදිරි සතියක කාලය තුළ මෙවැනිම ප්‍රබල පසු කම්පන (Aftershocks) ඇතිවිය හැකි බවයි. නායයෑම් පිළිබඳවද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දෙයි.
සංඛ්‍යාලේඛනවලට අනුව ලොව සිදුවන රික්ටර් මාපකයේ 6ට වැඩි භූමිකම්පාවලින් 10%ක්ම සිදුවන්නේ ජපානය ආශ්‍රිතවය. අවසන් වරට 2025 දෙසැම්බර් මාසයේදීද අඔමෝරි ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.6ක භූමිකම්පාවක් බලපෑවේය. 2011 වසරේ සිදුවූ මහා විනාශයෙන් උගත් පාඩම් හේතුවෙන්, මෙවර කුඩා සුනාමි රළකදී පවා ජනතාව වහාම ඉවත් කිරීම කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර තිබේ.


