පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළි කරගන්නා තෙක් යුක්තිය වෙනුවෙන් ගෙන යන අරගලය කිසිසේත් අත්නොහරින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර හතක් සපිරීම නිමිත්තෙන් අද (21) පැවති අනුස්මරණ මෙහෙය අමතමිනි.
මෙහිදී විශේෂයෙන්ම කරුණු දැක්වූ කාදිනල් හිමිපාණන්, 2024 ඔක්තෝබර් මාසයේදී කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් ප්‍රතිඥාව යළිත් සිහිපත් කළහ. කාලයත් සමඟ සත්‍යය යටපත් වීමට ඉඩ නොතබන බවටත්, විනිවිදභාවයකින් යුත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවටත් ජනාධිපතිවරයා එදින ලබා දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව උන්වහන්සේ සඳහන් කළහ.
ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල යම් ප්‍රගතියක් පෙනෙන්නට තිබුණද, ඇතැම් පාර්ශවයන් තවමත් සත්‍යය වසන් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මීට වඩා සක්‍රීය විය යුතු බවත් කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් කියා සිටියහ.
විශේෂයෙන්ම ජනාධිපති කොමිසම මගින් පවා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකි වූ සහ සහරාන් සමඟ ගනුදෙනු කළ බවට සැක කෙරෙන ‘අබු හින්ද්’ නමැති පුද්ගලයා කවුරුන්දැයි සොයා ගැනීම සත්‍යය අනාවරණය කර ගැනීමට අතිශය වැදගත් බවත්, එවකට බුද්ධි අංශ ප්‍රධානියාගේ පරිගණක හා දුරකථන දත්ත හිතාමතා මකා දැමීම පිටුපස ඇති රහස හෙළිවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ලංකාව තුළ දශක ගණනාවක සිට සිදුවූ මිනීමැරුම් සහ අතුරුදන් කිරීම් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩහැරීමේ භයානක ප්‍රවණතාවය පිළිබඳව සිය කනගාටුව පළ කළ කාදිනල් හිමිපාණන්, පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සොයා ගැනීම වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකමක් බව පෙන්වා දුන්හ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විඳිනා අසීමිත දුක කිසිදු දේශපාලන බලවේගයකට හෝ පුද්ගලයෙකුට නොදැනීම ජාතික ව්‍යසනයක් බවත්, දශක හතරක පමණ කාලයක සිට රට තුළ මුල් බැසගෙන ඇති මිනීමැරුම් සහ දූෂණ පිළිබඳ සත්‍යය සෙවීමට දේශපාලන ඇඟිලි ගැසීම් හරස් වී ඇති බවත් උන්වහන්සේ සිය අනුස්මරණ දේශනයේදී දැඩිව අවධාරණය කළහ.
මෙම ප්‍රධාන අනුස්මරණ වැඩසටහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී පැවැත්වුණේ වතිකාන අපෝස්තලික තානාපති අතිඋතුම් අන්ද්‍රෙයාස් ඉඕස්වෝවිච්ස් හිමිපාණන්, එක්සත් ජාතීන්ගේ මෙරට ස්ථාවර නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා මෙන්ම පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙනි. 2019 වසරේ පළමු බෝම්බය පිපිරී ගිය පෙරවරු 8.45 ට සිද්ධස්ථානයේ සීනුව නාද කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් වින්දිතයන් සිහිපත් කළ අතර, දිවයින පුරා පිහිටි සෑම දේවස්ථානයකම එකම වේලාවක මෙලෙස සීනුව නාද කර ඉටිපන්දම් හෝ පහන් දල්වා විශේෂ යාඥා මෙහෙයන් පවත්වමින් මියගිය ජනතාවට උපහාර දැක්වීම සිදු විය.
විශේෂයෙන්ම මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මියගියවුන්ගේ ස්මාරකය අසල ඉටිපහන් දල්වා පුෂ්පෝපහාර පැවැත්වීමට ඥාතීන් කටයුතු කළ අතර, මඩකලපුව සියෝන් දේවස්ථානයේදී ද දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ආත්ම ශාන්ති පූජාවන් පැවැත්විණි.
හත් වසරකට පෙර පාස්කු ඉරිදාවක දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් ඇතුළු ස්ථාන අටකදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 275කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීම ලාංකීය ඉතිහාසයේ අඳුරුම දිනයක් ලෙස සටහන් වූ අතර, එම විමර්ශන පිළිබඳව කතෝලික සභාව මෙතෙක් සම්පූර්ණ සෑහීමකට පත්ව නැත.
ඒ වෙනුවෙන් යුක්තිය අයැදීමේ අඛණ්ඩ පියවරක් ලෙස අද පස්වරු 4 ට මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන විශේෂ යැදුම් පාගමනක් කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
ප්‍රධාන දේව මෙහෙයන්ට සමගාමීව කොච්චිකඩේ සහ කටුවාපිටිය ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණේ අද උදෑසන සිටම ජනතාව විශාල වශයෙන් මෙම අනුස්මරණ කටයුතු සඳහා එක්ව සිටි බැවිනි.


