අපි දිනපතා කන බත් පිඟාන, උණු තේ කෝප්පය, හෝ කුකුල් මස් ව්‍යංජනය, මේ සියල්ල තුළ අපට නොපෙනෙන කුඩා අමුත්තන් සිටිනවා කියලා ඔබ කවදා හරි සිතා තිබුණාද? ඇසට නොපෙනෙන ඒ අමුත්තන් තමයි “මයික්‍රෝ ප්ලාස්ටික්” සහ “නැනෝ ප්ලාස්ටික්”, එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි. ඉතා කුඩා මේ ප්ලාස්ටික් අංශු, සමහරවිට නැනෝ මට්ටමේ, ඒ කියන්නේ අපේ සිරුරේ සෛලවලටත් ඇතුළු විය හැකි තරම් කුඩා ඒවා.
මේවා කොහෙන්ද එන්නේ?
මේවා අපේ ජීවිතයට ඇතුළු වෙන්නේ කොහෙන්ද කියලා හොයලා බලද්දී, ඒක් තනි ස්ථානයකින් නොව, සම්පූර්ණ ආහාර පද්ධතියම හරහා පැමිණෙන එකක් කියලා පැහැදිලි වෙනවා. පස දූෂිත වීමෙන් පටන් ගන්න මේ ගමන, පැළෑටි වල මූල පද්ධතිය හරහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු උරාගැනීමෙන් ආරම්භ වෙනවා. එමෙන්ම සතුන් තමන්ගේ ආහාර හරහා මේවා ශරීරයට ගන්නවා. ඒ අනුව, අපි කන මස්, බිත්තර, කිරි වැනි ආහාරවලටත් මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇතුළු වෙනවා.
ඊට අමතරව, කර්මාන්ත ශාලා පරිසරය මේ ප්‍රශ්නය තවත් වර්ධනය කරනවා. ආහාර සකස් කිරීමේදී භාවිතා කරන ප්ලාස්ටික් යන්ත්‍ර, නල පද්ධති සහ ඇසුරුම් වාර ගණනාවක් ආහාරය හා සම්බන්ධ වෙන නිසා, ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වීම වැඩි වෙනවා. විශේෂයෙන්ම “අධික ලෙස සැකසූ ආහාර” (ultra-processed foods) තුළ මේවා වැඩි වශයෙන් තිබෙන බව පර්යේෂණ පෙන්වා දෙනවා.
කර්මාන්ත ශාලාවල අධික ලෙස සැකසූ ආහාර පිළිබඳව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ශීලා සත්‍යනාරයන පෙන්වා දෙන්නේ, “අතිශය සැකසූ ආහාර වැඩි වන තරමට ප්ලාස්ටික් දූෂණය වැඩි වීමට ඉඩ ඇති” බවයි. ඒ සඳහා හේතුව වන්නේ කර්මාන්තශාලා නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්ලාස්ටික් සමඟ ඇති සම්බන්ධතා වැඩි වීම බවද ඇය පෙන්වා දෙනවා.
අපි හිතන්නේ බත් වගේ සරල ආහාර සුරක්ෂිතයි කියලා. නමුත් පර්යේෂණ වලින් හෙළිවී තියෙන්නේ, ගෙදර පිසන බත් එක කොටසක් තුළ මයික්‍රෝ ප්ලාස්ටික් මිලිග්‍රෑම් 3-4ක් පමණ තිබිය හැකි බවයි. පෙර පිසූ බත් (pre-cooked rice) තුළ එය තවත් වැඩි වන අතර මිලිග්‍රෑම් 13ක් දක්වා වෙයි. නමුත් සහල් හොඳින් සෝදන විට මේ ප්‍රමාණය අඩු කළ හැකි බව සොයාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ හි සිදු කළ පර්යේෂණයකින් හෙළිවුණේ, බත් පිසීමට පෙර හොඳින් සේදීමෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණය 20% සිට 40% දක්වා අඩු කළ හැකි බවයි. එය අපේ දෛනික පුරුදු තුළ කුඩා වෙනස්කම් මගින් විශාල ප්‍රතිලාභයක් ලැබෙන බව පෙන්වයි.
ලුණු වගේ දේවල් ගැන හිතුවොත්, 2018 වසරේ කළ අධ්‍යයනයකින් හෙළිවුණේ පරීක්ෂා කළ ලුණු වර්ග 39න් 36කම මයික්‍රෝ ප්ලාස්ටික් තිබුණා කියලා. විශේෂයෙන්ම සාගර ලුණු වල මේවා වැඩි වශයෙන් හමුවෙන්නේ, මුහුදු ජලය විශාල වශයෙන් ප්ලාස්ටික් දූෂණයට ලක්ව ඇති නිසාය.

ඒ අතරම, අපි බොන ජලයත් මේ ගැටලුවෙන් නිදහස් නැහැ. ජල බෝතලයක් විවෘත කර නැවත වසාගන්නා සෑම වාරයකම ලීටරයකට කැබලි 500කට අධික ප්‍රමාණයක් ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු විය හැකි බව පර්යේෂණ පෙන්වයි. නළ ජලයත් ලෝකයේ බොහෝ රටවල පරීක්ෂා කරද්දී, සියලුම සාම්පලවලම මයික්‍රෝ ප්ලාස්ටික් හමුවී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හල් විශ්වවිද්‍යායේ මේ සම්බන්ද පර්යේෂණයක් සිදුකර ඇති අතර එහිදී පර්යේෂණයට යොදාගත් සියලුම ජල නියැදි වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවී තිබෙනවා. එහෙත් හොඳ පෙරහනක් භාවිතා කිරීමෙන් මේවා 90% දක්වා අඩු කළ හැකි බව අප මතකයේ තබාගත යුතුයි.
අපේ කුස්සියම මේ ගැටලුවේ ප්‍රධාන මූලාශ්‍රයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. කෑම කපන ප්ලාස්ටික් බෝඩ් එකක් භාවිතා කරන සෑම වාරයකම, කපන සෑම මිලිමීටරයකටම මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි 100 සිට 300 දක්වා නිපදවිය හැකියි. සමහර අධ්‍යයන අනුව, එක් බෝඩ් එකකින් වසරකට ග්‍රෑම් 50ක පමණ ප්ලාස්ටික් ආහාරයට එක්විය හැකි බව පෙන්වා දී තිබෙනවා.
නෝවීජියාවේ ජල පර්යේෂණ ආයතනය මගින් සිදුකළ අධ්‍යයනයකින් මේ බව පෙන්වා දී ඇති අතර ඔවුන් පවසන්නේ, කැපුම් පුවරු, ප්ලාස්ටික් හැඳි, බ්ලෙන්ඩර් වැනි සාමාන්‍ය උපකරණ භාවිතයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් ආහාරයට එකතු විය හැකි බවයි. විශේෂයෙන්ම අයිස් වගේ දෘඩ දේවල් blend කරන විට, ලක්ෂ ගණනක කැබලි නිදහස් විය හැකි බව පෙන්වා දී ඇත. නොන්-ස්ටික් පෑන් ගැන හිතනකොට, ඒවායේ පෘෂ්ඨය සීරී ගිය විට, බාවිතා කරන එක් වාරයකදී දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් කුඩා ප්ලාස්ටික් අංශු නිදහස් විය හැක.
උෂ්ණත්වය මේ ක්‍රියාව තවත් වේගවත් කරනවා. ප්ලාස්ටික් භාජනයක් මයික්‍රෝවේව් උඳුනේ තබා විනාඩි 3ක් වැනි කාලයක් උණු කරන විට, එක් සෙන්ටිමීටරයකින්ම මිලියන ගණනක මයික්‍රෝ ප්ලාස්ටික් සහ බිලියන ගණනක නැනෝ ප්ලාස්ටික් නිදහස් විය හැක.
තේ බෑග් වැනි දේවල් පවා මේ ගැටලුවට හේතු වෙනවා. සමහර තේ බෑග් වල අඩංගු සුක්ෂ්ම ප්ලාස්ටික් කොටස්, උණු වතුරට දැමූ විට බිලියන ගණනක නැනෝ කැබලි ඔබේ තේ කෝප්පයට මුදා හරින බව පර්යේෂණවලින් හෙළිවී තිබේ.
අපේ ශරීරයට මේවා යනවද?

මෙවැනි කරුණු එක්ක බලද්දී, “අපේ ශරීරයට මේවා යනවද?” කියන ප්‍රශ්නයට පිළිතුර “ඔව්” කියන එකයි. නවතම අධ්‍යයන කිහිපයකින් මිනිස් මොළය, රුධිරය, පෙනහළු, ගර්භාෂය වැනි ස්ථානවල පවා මයික්‍රෝ ප්ලාස්ටික් හමුවී තිබෙනවා. සමහර අධ්‍යයන අනුව, සාමාන්‍ය මිනිස් මොළයක තුළ කුඩා හැන්දක පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් පවා තිබිය හැකි බව පෙන්වා දී ඇත. යේල් විශ්වවිද්‍යාලයේ මේ සම්බන්දව පර්යේෂණ සිදුකර තිබෙනවා.
එහෙත්, මේවා අපට කොච්චර හානිකරද කියන එක ගැන තවමත් සම්පූර්ණ එකඟතාවයක් නැහැ. සමහර විද්‍යාඥයන් පවසන්නේ, මේ අංශු ශරීරයේ තැන්පත් වී නිශ්ක්‍රීයව පවතින්නත් පුළුවන් බවයි. තවත් අය කියන්නේ, කුඩා කැබලි රුධිරය හරහා ගමන් කරමින් සෛල ක්‍රියාකාරීත්වයට බලපාන්නත් පුළුවන් බවයි.
ඒ අතරම, අපි දිනපතා ගන්න මේ අංශු සියල්ලම ශරීරයේ තැන්පත් වෙන්නේ නැහැ. සමහරක් සරලවම ශරීරයෙන් පිටව යන බවත් පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.
අපට ගතහැකි පියවර
ඒත් මෙහි වැදගත්ම පණිවිඩය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි ගැටලුවක් වුණත්, අඩු කරගන්න පුළුවන් බවයි. බත්, එළවළු, මාළු හොඳින් සෝදා භාවිතා කිරීම, අධිකව සැකසූ ආහාර අඩු කිරීම, ප්ලාස්ටික් වෙනුවට වීදුරු හෝ ලෝහ භාජන භාවිතා කිරීම, උණු ආහාර ප්ලාස්ටික් භාජන වල තැබීම වැළැක්වීම, ජල ෆිල්ටර භාවිතා කිරීම වැනි සරල පියවර මගින් අපේ දෛනික ප්ලාස්ටික් පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.
අවසානයේ, මේ කතාව විද්‍යාත්මක පර්යේෂණවලට සීමා වූ දෙයක් නොවේ. මේක අපේ දිනපතා ජීවිතයේ කොටසක්. අපි කන බත් පිඟාන තුළම, බොන වතුර කෝප්පය තුළම, අපට නොපෙනෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෝකයක් ජීවත් වෙනවා. ඒ ලෝකය සම්පූර්ණයෙන් නැති කරන්න අපට බැරි වුණත්, ඒක අපේ ජීවිතයට ඇතුළු වෙන ප්‍රමාණය අඩු කරගන්න අපිට පුළුවන්. ඒ තීරණය අපේ අතේ තියෙනවා.


