ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශේෂ වාහන අංක තහඩු (Special Number Plates) හරහා පසුගිය වසර කිහිපය තුළ රජයට විශාල ආදායමක් ලැබී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ අනාවරණය විය.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක නිකුත් කිරීම මගින් වසර හතරක කාලය තුළ රජය රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බවයි. මෙම විශේෂ අංක සඳහා එක් අංකයකට රුපියල් මිලියනයක (රු. ලක්ෂ 10) ගාස්තුවක් අය කර ඇත.
නිල දත්ත අනුව, 2023 වසරේදී වාහන 11ක්, 2024 දී වාහන 46ක්, 2025 දී වාහන 692ක් සහ 2026 අප්‍රේල් 17 වන විට වාහන 436ක් මෙම මිලියන අංක ලබාගෙන හෝ වෙන් කරගෙන ඇත. ඒ අනුව 2023 සිට මේ දක්වා වාහන 1,185කට අධික සංඛ්‍යාවක් මෙවැනි විශේෂ අංක ලබාගෙන තිබේ.
මේ අතර, අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රමාදය මැයි මාසය අවසන් වන විට අවසන් කිරීමට හැකි බව ද නිලධාරීන් සඳහන් කළහ. අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, 2025 මාර්තු 10 දින නව ආයතනයක් සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, ගිවිසුම අනුව මාස තුනක් ඇතුළත අංක තහඩු සැපයීමට එම ආයතනය බැඳී සිටී.
දැනට වාහන ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් (ආසන්න වශයෙන් 413,000) සඳහා අංක තහඩු නිකුත් කිරීම බලාපොරොත්තුවෙන් පවතින බවද හෙළි විය.
එමෙන්ම, වාහන අංක තහඩු සම්බන්ධයෙන් නව පද්ධතියක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති අතර, ඒ යටතේ පුද්ගලික නාමයන් (personalized names) ඇතුළත් අංක තහඩු හඳුන්වා දීමට ඉදිරි මාස 6 ඇතුළත හැකි වනු ඇතැයි නිලධාරීන් පවසයි.
කෙසේ වෙතත්, මෙම මිලියන අංක නිකුත් කිරීම වසර කිහිපයක් පුරා ගැසට් නිවේදනයකින් තොරව සිදුකර ඇති බවත්, ජාතික විගගනන කාර්යාලය විසින් ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් හෙළි විය. ඒ අනුව, එය නීත්‍යානුකූල කිරීම සඳහා පසුව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ගැසට් නියෝගයක් මගින් නව නීතිමය ව්‍යුහයක් යටතට ගෙන ඇති බවද සඳහන් කෙරිණි.
මෙම ක්‍රමවේදය යටතේ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ වෑන් රථ හැර අනෙකුත් සියලුම වාහන සඳහා ගාස්තු ගෙවා විශේෂ අංක ලබාගැනීමේ හැකියාව පවතින අතර, රටේ වාහන හිමියන් අතර මෙයට වැඩි ආකර්ෂණයක් ඇතිවෙමින් පවතින බව ද වාර්තා වේ.


