28.4 C
Galle

අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ

Published:

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ෆොඩයිස් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව හැටන් පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඉන් රියදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටි හැටන් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහල්ගත කළ පිරිස අතර පිරිමි පුද්ගලයන් 17ක්, කාන්තාවන් 14ක් සහ අවුරුදු 12ක සහ 04ක කුඩා දරුවන් දෙදෙනෙකුද වන බව වාර්තා වේ. තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට දික්ඔය රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

error: Content is protected !!