ඔරලෝසුවකට යොදන කුඩා බට්න් බැටරි කැබැල්ලක් අහම්බෙන් ගිල දැමීමෙන් පසුව ඇති වූ සංකූලතාවකින් මාසයකට පමණ පසු හත් හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බව ගාල්ල ජාතික රෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
වැලිගම, බටවල, වනිගසිරි මාවත පදිංචි නෙහාන් තක්සර ද සිල්වා නමැති අවුරුදු හතක් වයසැති මෙම දරුවා මිය ගොස් ඇත්තේ පසුගිය මැයි මස 03 වැනිදා රාත්රියේදීය.
ගාල්ල ජාතික රෝහලේ මරණ පරීක්ෂක චන්ද්රසේන ලොකුගේ මහතා විසින් පසුගියදා (04) රෝහලේ අධිකරණ වෛද්ය අංශයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී මියගිය දරුවාගේ පියා වන ඉරාන් නිරෝෂන් ද සිල්වා සාක්ෂි දෙමින් පවසා සිටියේ තම පුතුන් දෙදෙනා සහ පවුලේ අය සමඟ තමන් සතු අවන්හල අසල සිටියදී මෙම අනතුර සිදු වූ බවයි.
“පසුගිය අප්‍රේල් 02 වැනිදා රෑ අපි අපේ රෙස්ටෝරන්ට් එක ළඟ හිටියා. දරුවන් ඒ අසල සෙල්ලම් කළා. එතන ඉස්සරහා බැටරි කඩයක් තියෙනවා. ලොකු පුතා සහ පොඩි පුතා සෙල්ලම් කරද්දී, පොඩි පුතා බැටරි කඩේ ඉස්සරහ බිම තිබුණු පොඩි බටන් බැටරි කෑල්ලක් අහුලගෙන තියෙනවා. ලොකු පුතා ඒක ඉල්ලුවත් දෙන්නේ නැතුව ඔහු දුවලා ගිහින් ඒක කටේ දාගෙන තියෙනවා. පොඩි පුතා මගේ ළඟට දුවගෙන ඇවිත් කිව්වා තාත්තේ මට බැට්රි කෑල්ල ගිලුණා කියලා.”
බැටරියක් ගිලුණුත් බව දැනගත් වහාම තමන් දරුවාව වැලිගම ප්‍රාදේශීය වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය බවත්, එහි X-RAY ගැනීමට නොහැකි වීම නිසා මාතර ආසිරි රෝහලට ගිය බවත් පියා වැඩිදුරටත් පවසා සිටියේ ය.
එහි X-RAY කිරීමෙන් පසුව දරුවා ප්‍රතිකාර සඳහා වහාම මාතර මහ රෝහලට ඇතුළත් කරන ලෙස පියාට උපදෙස් ලැබුණු අතර අතර, මාතර රෝහලට ඇතුලත් කෙරුණු දරුවා එදිනම රාත්‍රියේ කරාපිටිය රෝහලට මාරු කර ඇත. කරාපිටිය රෝහලේදී පසුදිනම එන්ඩොස්කොපි ක්‍රමයට ආමාශයේ තිබූ බැටරි කැබැල්ල සාර්ථකව ඉවත් කර ඇති අතර, දින 2ක් නිරීක්ෂණයෙන් පසු දරුවා සුව තත්ත්වයෙන් ගෙදර යවා තිබේ.
“ගෙදර ආවට පස්සේ දරුවා සාමාන්‍ය විධියට හිටියා, පාසැල් ගියා. ඒත් කෑම කන වෙලාවට කොන්ද රිදෙනවා කියලා කිව්වා.” පියා පැවසීය.
කෙසේ වෙතත්, මේ සිද්ධියෙන් දින 26කට පසු අප්‍රේල් 28 වැනිදා පාසල් යාමට සූදානම් වූ දරුවා ඔලුව සහ බඩ රිදෙන බවට පැමිණිලි කර ඇත. නමුත් දෙමාපියන් දරුවා පාසැල් යවා තිබේ. එදිනම පාසලේදී දරුවා ලේ වමනය කරන බවට පාසලෙන් දැනුම් දීමෙන් පසු පියා වහාම දරුවා රැගෙන නැවත රෝහල වෙත ගොස් තිබේ.
“දරුවාව ආයෙත් කරාපිටිය හොස්පිටල් එකේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුල් කළා. එහිදී ලේ දුන්නා. නැවත එන්ඩොස්කොපි පරීක්ෂාවක් සඳහා දරුවාව සිහි නැති කළත්, ඊට පස්සේ දරුවාට සිහිය ආවේ නැහැ. ඔහුව ළදරු දැඩි සත්කාර ඒකකයට (PICU) දැම්මා. පසුව උදරයේ ශල්‍යකර්මයකුත් කළා. අන්තිමට මැයි 03 වැනිදා ඔලුවේ CT ස්කෑන් එකක් කළා. මොළයට ලේ බැහැලා තියෙන බවත් තත්ත්වය බරපතල බවත් වෛද්‍යවරු කිව්වා. එදාම සවස පහට පමණ මගේ පුතා මාව දාලා ගිහින් ගියා” යැයි පියා පැවසීය.
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ. ඩී. ඒ. දිසානායක මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සළකා බැලූ මරණ පරීක්ෂකවරයා තීරණය කළේ මෙම මරණය සිදුව ඇත්තේ බටන් බැටරිය ගිලීම නිසා අන්නශ්‍රෝතයේ (esophagus) පහළ කොටසේ පිහිටි මහා ධමනිය සිදුරු වී ඇති වූ අධික රුධිර වහනයක් හේතුවෙන් බවයි.
මෙම මරණ පරීක්ෂණ කටයුතු සඳහා සාක්ෂි මෙහෙයවීම වැලිගම පොලිසිය විසින් සිදු කරන ලදී.
කුඩා බැට්රියක් පවා දරුවකුගේ ජීවිතය උදුරා ගන්නා ආකාරය පිළිබඳ මෙම සිදුවීම තවත් එක් කථාවක් පමණක් ලෙස බැහැර නොකර ජීවිතයට වටිනා යමක් එකතුකර ගන්නා කථාවක් ලෙස හදවතේ තබා ගන්න.


