31.1 C
Galle

ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි

Published:

විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවා සිටි භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අද (30) දින එම කාරක සභාව හමුවේ පෙනී සිටීම මගහැර තිබේ.

ඔහුට අද දින කාරක සභාව හමුවට පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමු කර ඇති බව කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා තහවුරු කළේය. එම ලිපිය මගින් ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළේ ලේකම්වරයා කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි. රජය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් මැයි මස 05 වැනිදායින් පසු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බැවින්, භාණ්ඩාගාර ලේකම්වරයා ඉන් අනතුරුව දිනයක් ලබාදෙන ලෙස පමණක් ඉල්ලා ඇති බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය. ඒ අනුව කාරක සභාව විසින් එකඟ වන වෙනත් දිනයකදී හර්ෂණ සූරියප්පෙරුම මහතා COPF හමුවේ පෙනී සිටිනු ඇතැයි ඇය පවසයි.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රංජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ වරප්‍රසාද පනත යටතේ ඕනෑම අයෙකු කැඳවීමට කාරක සභාවට බලය පවතින බවයි. යම් හෙයකින් ලේකම්වරයා මෙම කැඳවීම දිගින් දිගටම මගහරින්නේ නම්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව හරහා හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වසර දෙකක් දක්වා සිරදඬුවම් හෝ දඩ නියම කිරීමට සභාපතිවරයාට නෛතික බලය පවතින බවද ඔහු අවධාරණය කළේය. ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම සහ කමිටු සතු බලතල මෙලෙස හෑල්ලුවට ලක් කර නොමැති බවද එම සංවිධානය වැඩිදුරටත් චෝදනා කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශන පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළේය.

මේ අතර, අදාළ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේ, මෙය සෘජු හැකර් ප්‍රහාරයකට වඩා විදේශීය ආයතනයක විද්‍යුත් තැපැල් ලිපිනයට සමාන ව්‍යාජ ඩොමේනයක් (Domain) හරහා සිදු වූ වංචාවක් බවයි. මෙහිදී නිලධාරීන්ගේ නොසැලකිල්ලක් පවතීද යන්න පිළිබඳවද විමර්ශනය කළ යුතු බව ඔහු පවසයි.

Related articles

error: Content is protected !!