28.3 C
Galle

පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ

Published:

මුදල් අමාත්‍යාංශයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස මාරු කිරීමේ සිද්ධිය වැනි සිදුවීම් යළි සිදු නොවීම සඳහා ආරක්ෂිත පද්ධති ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මහ බැංකුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, දැනට පවතින ක්‍රියාපටිපාටි සමාලෝචනය කරමින් අනාගතයේදී මෙවැනි වංචනික ගනුදෙනු වැළැක්වීම සඳහා නව ආරක්ෂක ක්‍රමවේද හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ, රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය වන්නේ ගිණුම් හිමියන් විසින් ලබාදෙන ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවය.

“ඔබේ බැංකු ගිණුමෙන් වෙනත් ගිණුමකට මුදල් යවන්න කියලා උපදෙස් දුන්නොත්, බැංකුවේ වගකීම වන්නේ ගිණුම් අංකය නිවැරදිද කියලා තහවුරු කරලා ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමයි. පද්ධතිය එය හඳුනාගත්තොත් ගෙවීම සිදු කරනවා. ඊට එහා ගිහින් පාරිභෝගිකයා දුන් උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නැහැ” යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

බැංකුවකට ගනුදෙනුකරුවන් ලබාදෙන උපදෙස් වෙනස් කිරීමේ බලයක් නොමැති බවද, මුදල් මාරු කිරීමෙන් පසු එය ලැබුණු බව තහවුරු කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ අදාළ මුදල් ලැබෙන ආයතනය බවද ඔහු පැහැදිලි කළේය.

මෙම වංචනික ගනුදෙනුවට අදාළ ගිණුම් ප්‍රකාශන සහ තොරතුරු ඕස්ට්‍රේලියාවේ පිහිටි අදාළ ආයතනය වෙත ලැබී තිබිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

Related articles

error: Content is protected !!