මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී සැකකටයුතු ලෙස මියගිය සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබේ.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලය නිගමනය කර ඇත්තේ මෙම මරණය තියුණු ආයුධයකින් සිදු වූ බහුවිධ කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනයක් නිසා සිදුව ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඊයේ (01) පස්වරුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය නිලධාරියාගේ පාද දෙකේ සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බවයි. එම සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බව වෛද්‍ය මණ්ඩලය වැඩිදුරටත් නිගමනය කර ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන සඳහා රංග නිශාන්ත මහතා සහය ලබා දී තිබූ අතර, ඔහු සිය ලැප්ටොප් පරිගණකය ඇතුළු දත්ත උපාංග ද විමර්ශන අංශ වෙත භාර දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර තහවුරු කළේය.
මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක්
මේ අතර, අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දිනන දකුණ සාමූහිකයේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඉල්ලා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් ‘මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක්’ (Psychological Autopsy) සිදු කරන ලෙසයි. මෙම මරණයට තුඩුදුන් මානසික හා සමාජීය පසුබිම පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
අවසන් කටයුතු අද
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව රංග නිශාන්ත මහතාගේ දේහය අද (02) උදෑසන කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.


