සමාජයක සුන්දරත්වය රැඳී ඇත්තේ එහි ඇති විවිධත්වය මත බව පැවසෙතත්, ඇතැම් විටෙක එම විවිධත්වයම පීඩාවට පත්වීමට හේතුවන අවස්ථා අප රටේ ඕනෑතරම් දැකිය හැකිය. එවන් පසුබිමක, කොළඹට පමණක් සීමා නොවී දකුණු ලක ගාල්ලේදී දේදුනු වර්ණවලින් හැඩවුණු සුවිශේෂී හමුවක් පසුගියදා පැවැත්විණි. ඒ, මානව සෝබා සම්පත් සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද LGBTIQ ප්‍රජා එකමුතුවයි.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ මෙම හමුව සඳහා වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මාධ්‍ය ක්‍රියාකාරීන් ද එක්ව සිටියේ මෙම ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පුළුල් කථිකාවකට මග පාදමිනි.
මෙම හමුවේ අරමුණ පිළිබඳ අදහස් දැක්වූ මානව සෝබා සම්පත් සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුෂාර මහතා සඳහන් කළේ, කොළඹ වැනි ප්‍රදේශවල මෙවැනි අවස්ථා සුලභ වුවත් දකුණු පළාතේ ප්‍රජාවට සිය හැකියාවන් එළිදැක්වීමට ඇති අවස්ථා අවම බවයි. එබැවින් දකුණේ දිස්ත්‍රික්ක තුනෙහිම සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම ප්‍රජාවගේ වර්තමාන තත්ත්වය එතරම් සුබදායී නොවන බව පදනමේ විධායක අධ්‍යක්ෂිකා සංජීවනී කඩවතගේ මහත්මිය දැඩි සංවේගයෙන් යුතුව සිහිපත් කළාය. පසුගිය කාලයේ මේ ප්‍රජාව පිළිබඳ ඇති වූ කථිකාවත බොහෝ විට යහපත් එකක් නොවූ බව ද, ඇතැම් පිරිස් සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට මෙම ප්‍රජාව ඉත්තන් කර ගැනීම නිසා ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ආයතන පවා දැඩි අභියෝගවලට මුහුණ දුන් බව ඇය අවධාරණය කළාය. අගමැතිනිය පවා මෙම ප්‍රශ්න නිසා මඩ ප්‍රහාරවලට ලක්වන බව පවසමින් රාජ්‍ය ආයතන සෞඛ්‍ය යෝජනාවලට අනුමැතිය දීම මඟහරින තත්ත්වයක් තුළ, මෙම මිනිසුන් පිළිබඳ සංවේදීතාවයක් ඇති කිරීම අනිවාර්ය බව ඇය පෙන්වා දුන්නාය.
මෙම හමුවට එක්වූ දිස්ත්‍රික් මනෝඋපදේශන නිලධාරී දර්ශිකා මහත්මිය අපූරු උපමාවකින් ජීවිතය දෙස බලන අයුරු කියා දුන්නේ, අහසේ වලාකුළු කොතරම් තිබුණත් අහස ඒවා අල්ලාගෙන නොසිටින්නා සේ, අපගේ සිතුවිලිවලට ද නිදහසේ ගලායන්නට ඉඩ දිය යුතු බවයි. යමක දැඩිව එල්බ ගැනීම මානසික ගැටලුවලට මුල් වන බව ඇය අවධාරනය කර සිටියාය.
මානවයාට අවශ්‍ය මූලිකම දේ ‘ආදරය සහ ගෞරවය’ බව පවසමින් වනිතා සංවර්ධන නිලධාරී කාන්චනා මාපලගම මහත්මිය ප්‍රජාව දිරිමත් කළේ, “සමාජය ආදරය දුන්නත් නැතත්, ඔබ ඔබටම ආදරය කරන්න. එවිට ඕනෑම තැනක පොළොවේ පය ගසා ජීවත් වීමට ඔබට ශක්තිය ලැබෙනු ඇත” යනුවෙනි.
සමාජ ක්‍රියාකාරිනී භූමි හරේන්ද්‍ර මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයේ මේ වන විට LGBTIQ විරෝධී ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් වැය කරන රැල්ලක් පවතින බවයි. ඉතිහාසයේ අපේ රට තුළ විවිධ ලිංගික නැඹුරුතාවන් සහිත මිනිසුන් ජීවත් වුවද, දැන් එය අමුතු දෙයක් ලෙස හුවා දක්වමින් ප්‍රහාර එල්ල කරන බව ඇය පැවසුවාය. තමන් මහත් කැපකිරීමෙන් ලබාගත් ජයග්‍රහණ උදුරා ගැනීමට සැරසෙන්නේ නම්, පණ ගියත් එය අත් නොහරින අරගලයකට තමන් සූදානම් බව ද භූමි අවධාරණය කළාය.
නීතීඥ විෂාණි තේනුවර මහත්මිය පෙන්වා දුන්නේ ‘පාදඩ ආඥා පනත’ වැනි යල්පැනගිය නීති තවමත් මොවුන් මර්දනය කිරීමට යොදා ගන්නා බවයි. නීතිය ක්‍රියාත්මක වීමේදී සිදුවන වෙනස්කම් නිසා නොකළ වරදකට දඬුවම් විඳීමට සිදුවන බව ඇය පැවසුවාය. එසේම රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමරනාත් කරුණානායක මහතා සාමාන්‍ය සහ අසාමාන්‍ය බව අතර ඇති සියුම් රේඛාව පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව අදහස් ඉදිරිපත් කළේය.
අදහස් හා සංවාදවලින් පසුව, දිනය අවසානයේ දකුණේ දේදුනු ප්‍රජාවගේ කුසලතා එළිදැක්වුණු ගැයුම් හා රැගුම්වලින් සමන්විත ප්‍රසංගයක් ද පැවැත්විණි. මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදුන් UNOPS සංවිධානයේ ප්‍රමිලා නගුලේෂ්වරන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සහ ප්‍රතිභා මීඩියා ආයතනයේ චමින්ද ජයසේකර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන, දකුණේ LGBTIQ ප්‍රජාවට තමන් තනි වී නැත යන පණිවිඩය ලබා දීමට සමත් විය.
සියල්ලටම වඩා මිනිසත්කම අගයන සමාජයක් උදෙසා “මානව සෝබා සම්පත් සංවර්ධන පදනම ” තැබූ මෙම පියවර, දකුණේ සමාජ සංස්කෘතික පරිසරය තුළ නව බලාපොරොත්තුවක ඇරඹුමක් වනු නිසැකය.








