රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ට අයුතු වාසි සලසා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 396කට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඊයේ (08) නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ඔහු සර්ව ජන බලවේගය පක්ෂයේ වත්මන් මන්ත්‍රීවරයෙකු ද වේ.
සැකකාර හිටපු සභාපතිවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන දූෂණ චෝදනා මෙසේය,
තමන්ට පෞද්ගලිකව අයිති ඉඩමක් නීතිවිරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිලදී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94ක මුදලක් ලබාගැනීම.
රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කරගැනීමට යැයි පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් ලක්ෂ 40ක මුදලක් ගෙවා එම ඉඩම නීත්‍යානුකූලව පවරා නොගෙන රජයට පාඩු සිදුකිරීම.
අඩු ආදායම්ලාභී දරුවන්ට බෙදාදීම සඳහා යැයි පවසා නිසි අනුමැතියකින් තොරව රුපියල් 26,025,650ක මුදලක් වියදම් කරමින් අභ්‍යාස පොත් මිලදී ගෙන එම ව්‍යාපෘතිය අතරමග නතර කර ප්‍රාදේශීය සභාවට පාඩු සිදුකිරීම.
ප්‍රාදේශීය සභාවට අයත් පර්චස් 202ක ඉඩමක් රුපියල් ලක්ෂ 20ක් වැනි ඉතා අඩු මුදලකට තම ඥාතියෙකුට ලබාදීමෙන් සභාවට පාඩු සිදුකිරීම.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම දූෂණ චෝදනා හතර සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය පැනවූවාය.


