27.1 C
Galle

දිට්වා නිවාස වන්දියෙන් අල්ලස් ගත්තැයි නිලධාරීන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරයට

Published:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේදී රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදල් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියා, ග්‍රාම නිලධාරීවරයෙකු සහ සිවිල් පුද්ගලයෙකු ලබන ජූනි මස 9 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ආපදා සහන සේවා නිලධාරි වීරසිංහ රාජේන්ද්‍ර සුමිත් වීරසිංහ, තණමල්විල ග්‍රාම නිලධාරී නිමල් වලිසුන්දර (වි ජී නිමල්) සහ සිවිල් පුද්ගලයෙකු වූ කෘස් වින්සන්ට් නමැති සැකකරුවන් තිදෙනාය.

සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ වෙනස් නඩු දෙකක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණු අතර අල්ලස් කොමිසමේ විවෘත පැමිණිලි විභාග අංශය මගින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පළමු වාරිකයෙන්ම ලක්ෂ 11ක් අල්ලස් අරන්?

ආපදා සහන සේවා නිලධාරී සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේ, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පැමිණිලිකාරියට හිමි රුපියල් ලක්ෂ 50 වන්දි මුදලේ පළමු වාරිකය වූ ලක්ෂ 20 ලබාදීමේදී මෙම නිලධාරියා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි.

එමෙන්ම ඇයට ඉදිරියේදී ලැබීමට නියමිත දෙවන සහ තෙවන වන්දි වාරික වූ රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල්වලින් ලක්ෂ 5 බැගින් තවත් රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති බවද කොමිසම අනාවරණය කළේය.

මේ අතර තණමල්විල ග්‍රාම නිලධාරීවරයා සහ සිවිල් සැකකරුට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ, අදාළ වන්දි මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ 20 ලබාදීමේදී මෙම සැකකරුවන් දෙදෙනා එක්ව තවත් රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

මාධ්‍ය ප්‍රචාරය නිසා අත්අඩංගුවට ගත් බවට විත්ති පාර්ශවයෙන් චෝදනාවක්

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම හේතුවෙන් ඊට සාපේක්ෂව අල්ලස් කොමිසම විසින් තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තම සේවාදායකයින් කිසිදු අල්ලස් මුදලක් ඉල්ලා හෝ ලබාගෙන නොමැති බව පවසමින් ඔහු සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත්, ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසම සඳහන් කළේ කෘස් වින්සන්ට් නමැති සිවිල් සැකකරු විසින් අල්ලස් මුදල් ලබා ගත් බවට දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිදුකරන විමර්ශනවල ප්‍රගති වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!