ඕනෑම විභාග අපේක්ෂකයෙකුට තමන් විසින් ලියන ලද සහ ඇගයීමට ලක් කරන ලද පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට නෛතික අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කළේය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව දුන් නියෝගය තහවුරු කරමින් අධිකරණය පසුගියදා (08) මෙම තීරණය ලබා දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වයෙන් යුතුව, විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව විවෘත විශ්වවිද්‍යාලය විසින් තොරතුරු කොමිසමේ තීරණයට එරෙහිව ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත අධිකරණය විසින් නිශ්ප්‍රභ කෙරිණි.
නඩුවේ පසුබිම
2023 ජනවාරි 08 වැනි දින පවත්වන ලද නීතිවේදී (LLB) උපාධිය සඳහා වූ තෝරා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි ආර්.ඒ.ඩී. සශින්ද්‍යා රණසිංහ ශිෂ්‍යාවගේ පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දෙන ලෙස ඇයගේ පියා වන ආර්.ඒ. ජානක රොෂාන් රණසිංහ මහතා විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.
නමුත් විශ්වවිද්‍යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, පිළිතුරු පත්‍ර මුදා හැරීමෙන් විභාගයේ රහස්‍යභාවයට සහ අඛණ්ඩතාවට හානි වන බව පවසමිනි. පසුව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත කළ අභියාචනයක ප්‍රතිඵලයක් ලෙස, එම තොරතුරු ලබා දෙන ලෙස කොමිසම නියෝග කළ අතර, විශ්වවිද්‍යාලය එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ගියේය.
අධිකරණයේ නිරීක්ෂණ
විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සිය තීන්දුව මගින් අවධාරණය කළේ උසස් අධ්‍යාපන ආයතන තුළ “හැංගි මුත්තම් සෙල්ලම්” පැවතිය නොහැකි බවයි. පාරදෘශ්‍යභාවය සහ වගවීම ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක අත්‍යවශ්‍ය අංග බව පෙන්වා දුන් අධිකරණය, පරීක්ෂකවරයාගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් අපේක්ෂකයෙකුට තම පිළිතුරු පත්‍රය බැලීමට ඇති අයිතිය පැහැදිලි කළේය.
මෙහිදී අධිකරණය වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය:
- නීතියේ ප්‍රමුඛතාව: තොරතුරු පනතේ 4 වැනි වගන්තියට අනුව, විශ්වවිද්‍යාල අතුරු ව්‍යවස්ථා මගින් තොරතුරු පනතේ විධිවිධාන යටපත් කළ නොහැක.
- ප්‍රතිශෝධන බලතල: සාමාන්‍ය අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී, සුවිශේෂී අවස්ථාවක පමණක් භාවිතා කරන ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කිරීම පිළිබඳව අධිකරණය විශ්වවිද්‍යාලය වෙත සිය දෝෂදර්ශනය පළ කළේය.
- ජාත්‍යන්තර පූර්වාදර්ශ: ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දු ද මෙහිදී අධිකරණයේ අවධානයට ලක් විය.
මෙම තීන්දුවත් සමඟ, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මීට පෙර ලබා දුන් නියෝගය තවදුරටත් බලාත්මක වන අතර, අදාළ ශිෂ්‍යාවට සිය පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබේ.
මෙය මෙරට විභාග ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් ලැබුණු තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකේ.



