28.3 C
Galle

දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ

Published:

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු (Smart Boards) සහ STEAM තාක්ෂණික උපකරණ බෙදාදීම අද (13) ගාල්ල ඉහළගොඩ සුමංගල මහා විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙම වැඩසටහන දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, රුපියල් මිලියන 153ක වටිනාකමින් යුතු උපකරණ මෙහිදී පාසල් වෙත ලබාදෙන ලදී. මෙම වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 64කට, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 115කට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 91කට මෙම සුහුරු පුවරු සහ STEAM තාක්ෂණික උපකරණ ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම අවස්ථාවේදී, අදාළ උපකරණ භාවිතයෙන් දකුණු පළාතේ පාසල්වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම ද සිදු කෙරිණි.

විශේෂයෙන් ග්‍රාමීය හා නාගරික පාසල් අතර පවතින අධ්‍යාපන පරතරය අවම කරමින්, සියලුම දරුවන්ට නවීන තාක්ෂණය සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව බලධාරීහු පැවසූහ. දකුණු පළාත තුළ ඩිජිටල් අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා මෙම වැඩසටහන වැදගත් පියවරක් වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර මහතා සහ තිලංක යූ. ගමගේ මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිෂාන් කේ.ආර්. පතිරණ මහතා, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඡන්න උපාලි වීරසේකර මහතා ඇතුළු නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ සිසු  දරුවන් රැසක් එක්ව සිටියහ.

Related articles

error: Content is protected !!