29.4 C
Galle

අපනයන වෙළෙඳපොළ ඉලක්ක කළ ලොව වේගවත්ම දැව වගාව, ‘කොළ උණ’ නාගොඩට

Published:

ඉහළ අපනයන ඉල්ලුමක් සහිත කොළ උණ වගාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “සියවසේ කප්රුක – කොළ උණ වගාව“ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (13) නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනේදී මෙරට පළමු වරට ‘කොළ උණ නිෂ්පාදන ගම්මානයක්’ නිර්මාණය කිරීමේ සැළසුම් ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ විවිධ විසිතුරු ඉදිකිරීම් සහ නිෂ්පාදන සඳහා දැනට චීනයෙන් මහපරිමාණයෙන් උණ ගස් ආනයනය කළ ද මෙරට පවතින ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ කොළ උණ වගා කළ හැකි බැවින්, විශේෂයෙන් ගංගා ආශ්‍රිත නිරන්තරයෙන් ජලයෙන් යටවන ප්‍රදේශවල මෙම වගාව ප්‍රචලිත කිරීමට හැකියාව ඇති බව මෙහිදී සඳහන් විය. මේ වන විට කොළ උණ ප්‍රවාහනය කිරීමේ නීතිමය පසුබිම ලිහිල් වී ඇති නිසා මෙය ග්‍රාමීය ජනතාවට සෘජු ආදායම් මාර්ගයක් දක්වා වර්ධනය කරගත හැකි බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ගෝලීය උණ බම්බු වෙළෙඳපොළ 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති අතර චීනය, ඉන්දියාව සහ වියට්නාමය වැනි රටවල් මෙහි ප්‍රමුඛයන් වේ. උණ ගස යනු ලොව වේගවත්වම වැඩෙන ශාකය වන අතර, දැව කර්මාන්තයට සාපේක්ෂව වසර 3-5ක් වැනි කෙටි කාලයකදී මෙහි අස්වනු නෙළා ගත හැකි බවද මෙහිදී අනාවරණය විය.

උණ බම්බු වගාව සාමාන්‍ය ගස්වලට වඩා 35%ක් වැඩි කාබන් ප්‍රමාණයක් අවශෝෂණය කරමින් ඔක්සිජන් මුදාහරින බැවින්, “Carbon Credit” ලබා ගැනීමේදී ද මෙම කර්මාන්තය ඉතා වැදගත් වේ. අඩු මූලික ප්‍රාග්ධනයකින් ඇරඹිය හැකි මෙම කර්මාන්තය දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ද මහඟු පිටුවහලක් වනු ඇතැයි ද සඳහන් කෙරිණ.

නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වන සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර පර්යේෂණ නිලධාරී හර්ෂ ජයවික්‍රම සහ ශ්‍රී ලංකා උණ වේවැල් සංසදයේ හිටපු සභාපති රසික රාජපක්ෂ යන මහත්වරුන් සම්පත් දායකත්වය ලබා දුන්හ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, නාගොඩ ප්‍රාදේශීය ලේකම් සදිශානි ලක්නිමා යක්දෙහිගේ මහත්මිය, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ අංජු කාරිවසම් මහත්මිය ඇතුළු නිලධාරීන් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන

හරිත උණ (Green Bamboo) වගාව ලොව පුරා වේගයෙන් වර්ධනය වන පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස සැලකෙයි. ඉතා වේගයෙන් වර්ධනය වන ශාකයක් වන උණ, ඉදිකිරීම්, ගෘහ භාණ්ඩ, කඩදාසි, රෙදිපිළි, අලංකාර නිෂ්පාදන සහ ආහාර කර්මාන්තය දක්වා විවිධ අංශවල භාවිතා වේ. විශේෂයෙන් කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව ඉහළ වීම සහ පස ආරක්ෂා කිරීමේ ගුණාංග නිසා “හරිත ආර්ථිකය” තුළ වැදගත් භෝගයක් ලෙස එය හඳුන්වයි. ශ්‍රී ලංකාවේද තෙත් හා මධ්‍යම කලාපීය ප්‍රදේශවල උණ වගාව සඳහා හිතකර පරිසරයක් පවතින අතර, සාපේක්ෂව අඩු නඩත්තු වියදමකින් ඉහළ ආදායමක් ලබාගත හැකි වගාවක් ලෙස කෘෂිකාර්මික අංශයේ අවධානය දිනාගෙන තිබේ.

මේ වනවිට චීනය, ඉන්දියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි රටවල් උණ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් විශාල විදේශ විනිමයක් උපයන අතර, පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඇති ඉල්ලුමත් සමඟ හරිත උණ සඳහා ඇති ඉල්ලුමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ගෝලීය ප්‍රවණතාව හේතුවෙන් උණ භාවිතයෙන් නිපදවන දෛනික භාණ්ඩ සඳහා යුරෝපීය සහ ඇමරිකානු වෙළඳපොළවල විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් හරිත උණ වගාව අනාගතයේ ශ්‍රී ලංකාවටද ආර්ථික සහ පාරිසරික වශයෙන් වටිනා අපනයන කර්මාන්තයක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.



Related articles

error: Content is protected !!